මෙම වසරේ (2026) ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී ශ්‍රී ලාංකිකයින්ගේ විදේශ රැකියා සඳහා පිටත්වීම් සියයට 4.84කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ඒ අනුව, 2026 ජූලි මාසයේදී ශ්‍රී ලාංකිකයින් 25,622 දෙනෙකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර, එය මෙම වසර තුළ එක් මාසයකදී වාර්තා වූ ඉහළම සංඛ්‍යාව ලෙස සැලකේ. (ජූනි මාසයේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් තිබුණේ 24,440 දෙනෙකි). රජය ඊශ්‍රායලය, දකුණු කොරියාව සහ ජපානය සමඟ ඇති කරගෙන ඇති අවබෝධතා ගිවිසුම් හේතුවෙන් එම රටවල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින්ගේ උනන්දුව ඉහළ ගොස් ඇති බවද කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව, ජූලි මාසයේදී ඊශ්‍රායලය සඳහා 2,521 දෙනෙකු, දකුණු කොරියාව සඳහා 1,618 දෙනෙකු සහ ජපානය සඳහා 79 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.
මේ අතර, ජපානයේ නිෂ්පාදන, ඉදිකිරීම්, සාත්තු සේවා සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රවල රැකියා හිමිවූ තරුණ තරුණියන් 14 දෙනෙකු සඳහා ඊයේ (03) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී ගුවන් ටිකට්පත් ද පිරිනමා ඇත. එසේම, මෙම වසරේ ජනවාරි සිට ජූනි දක්වා මාස හයක කාලය තුළ විදේශගත ශ්‍රමිකයින් විසින් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.6ක විදේශ ප්‍රේෂණ එවා ඇති බවද වාර්තා වේ.
















