විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළව ආණ්ඩුව විසින් ගෙන ඒමට සූදානම් වන හදිසි ව්‍යවස්ථා සංශෝධනයට තමන්ගේ දැඩි පිළිකුල සහ විරෝධය පළ කරන බව ‘දිනන දකුණ – දක්ෂිණාංශික දේශපාලනය පුනරුත්ථාපනය කිරීමේ සාමූහිකය’ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එම සාමූහිකයේ නායකත්ව මණ්ඩලය සහ විධායක සභාවේ අත්සනින් යුතුව අද (04) දිනයේ මෙම නිවේදනය නිකුත් කර තිබේ.
මෙම ව්‍යවස්ථා සංශෝධන උත්සාහය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සංකල්ප පත්‍රිකාවක් හෝ එවැනි කැබිනට් පත්‍රිකාවක් තමන් සකස් නොකළ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවිය ප්‍රකාශ කර ඇති බැවින්, රේඛීය අමාත්‍යාංශයේ මැදිහත්වීමකින් තොරව වෙනත් පාර්ශ්වයන් විසින් එය සකස් කර ඇති බවට සාධාරණ සැකයක් මතුවන බවයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව කළ ප්‍රකාශයෙන් මෙම සැකය තවදුරටත් තහවුරු වන බවත්, යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ත්‍රෛනිකායික මහානායක මාහිම්පාණන් වහන්සේලාගේ විරෝධය පළ කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බව මල්වතු පාර්ශ්වයේ මහානායක හිමියන් දැනුම් දී ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවට ජනතාවට පොරොන්දු වී, මෙලෙස හදිසියේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට ආණ්ඩුව දරන උත්සාහය දැඩි ලෙස හෙළා දකින බව ද එම සාමූහිකය අවධාරଣ කර සිටියි















