අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් නිකුත් කර ඇති සිතාසියට අනුව නියමිත දිනට එම කොමිසම හමුවේ පෙනී සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය. “අල්ලස් කොමිසම මට එන්න කියලා තියෙනවා නම් මට යන්න වෙනවා” යනුවෙන් ඔහු එහිදී පවසා තිබේ.
ආන්දෝලනාත්මක ‘එයාබස්’ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මැයි 12 වැනිදා (හෙට) කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් හිටපු ජනාධිපතිවරයා වෙත ලිපියක් මඟින් මීට පෙර දැනුම් දී තිබුණි. 2013 වසරේදී ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා එයාබස් යානා 14ක් මිලදී ගැනීමේදී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇත.
අධිකරණයේදී අනාවරණය වූ කරුණුවලට අනුව, අදාළ අල්ලස් මුදලින් රුපියල් මිලියන 20ක් එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාටත්, රුපියල් මිලියන 60ක් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් ලබා දුන් බවට කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, කපිල චන්ද්‍රසේන මහතාගේ නීතිඥ, ජනාධිපති නීතිඥ රීන්සි අර්සකුලරත්න මහතා අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිය සේවාදායකයා බියගන්වා මෙම ප්‍රකාශ ලබාගෙන ඇති බවයි.














