පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වශයෙන් සැලකෙන සහරාන් හෂීම්ගේ නීතිඥවරයා වශයෙන් තමන් කටයුතු කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සහ මාධ්‍යවේදීන් පිරිසක් විසින් ගෙන යනු ලබන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය, ද්වේෂසහගත සහ නොමඟ යවන සුළු ප්‍රකාශ බවට ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී.
තමන් සහරාන් හෂීම්ගේ නීතිඥවරයා ලෙස කටයුතු කර නොමැති බව අවධාරණය කරන මෛත්‍රී ගුණරත්න මහතා, ඇතැම් පාර්ශ්වයන් විසින් ගෙන යනු ලබන මෙම අසත්‍ය ප්‍රචාර තමන්ගේ කීර්තිනාමයට හානි කිරීමේ අරමුණින් සිදු කෙරෙන්නක් බව පෙන්වා දෙයි. ඔහු පෙන්වා දෙන පරිදි, නීතිඥයෙකු වශයෙන් වෘත්තීය කටයුතුවල නිරත වන විට තමන්ට එරෙහිව මෙවැනි අසත්‍ය චෝදනා එල්ල කිරීමෙන් තම වෘත්තීය ගමන වැළැක්විය නොහැකි බවත්, නීතිය සහ යුක්තිය වෙනුවෙන් තමන් දිගටම පෙනී සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මෙවැනි අසත්‍ය පුවත් සහ ප්‍රචාර සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත්, කරුණු විමර්ශනයකින් තොරව සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කිරීමෙන් වළකින ලෙසත් ඔහු අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.
















