27 April 2024
#දේශීය

මෙරට නිෂ්පාදනය කෙරෙන ඖෂධ කර්මාන්ත ශාලා තුළින්ම රෝහල් වෙත – ඇමැති කෙහෙලිය

මේ වනවිට මෙරට නිෂ්පාදනය කෙරෙන ඖෂධ කර්මාන්ත ශාලා තුළින්ම රෝහල් කරා බෙදාහැරෙන කාර්යක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ වනවිට පවතින ඖෂධ තත්ත්වයන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ දී ඊයේ (27) පැවති සාකච්ඡාවකදී මේ බව පැවසිය.

ඒ අනුව අදාළ රෝහල්හි අවශ්‍යතා අනුව එම ඖෂධ හා උපකරණ වෛද්‍ය සැපයුම් අංශයට ගෙන්වීමකින් තොරව රෝහල් කරා යොමු කරන ලෙසත් එහි පූර්ණ අධීක්ෂණය වෛද්‍ය සැපයුම් අංශය මගින් සිදු කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මුළු දිවයින ම ආවරණය වන පරිදි ඖෂධ ප්‍රවාහන සිතියමක් සකස් කරන ලෙසත් එය නිසි අධ්‍යයනයකින් යුතුව සිදුකරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

කර්මාන්තශාලා මගින් රෝහල් කරා සෘජුව ඖෂධ බෙදාහැරීම තුළින් ප්‍රවාහනය සඳහා වන වියදම්, ගතවන කාලය ,ගබඩා පහසුකම් සඳහා වැයවන ඉඩකඩ ආදී ගැටලු රැසකට විසඳුම් ලැබෙන අතර මෙයට අමතරව රෝහල්හි පවතින ඖෂධ අඩුපාඩු හඳුනා ගනිමින් ඒ සඳහා ඖෂධ බෙදා හැරීමටද හැකිවනු ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා හා එම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද, වෛද්‍ය සැපයුම් අංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, ආසියානු සංවර්ධන බැංකුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද ඒ සඳහා සහභාගි වූහ

Leave a comment

Your email address will not be published. Required fields are marked *