මුලතිව් නායාරූ කළපුව ආශ්‍රිතව කාලගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කඩොලාන පුනරුත්ථාපන ව්‍යාපෘතිය සඳහා ප්‍රදේශවාසී ජනතාවගේ පූර්ණ දායකත්වය හිමිව තිබේ.
‘Adaptation Fund’ අරමුදල හරහා ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක ප්‍රතිපාදන මත එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන (UN-Habitat), පරිසර අමාත්‍යාංශය සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම ව්‍යාපෘතිය මෙහෙයවයි. පැළ 50,000ක් රෝපණය කිරීමේ ඉලක්කය අතුරින් පැළ 24,000ක් මේ වන විටත් සාර්ථකව සිටුවා අවසන් කර ඇත. ප්‍රදේශයේ පරිසරයට ගැලපෙන කඩොලාන විශේෂ විද්‍යාත්මකව තෝරාගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් ධීවර කර්මාන්තය සහ පරිසර සංචාරක ක්ෂේත්‍රය වර්ධනය කරමින් වෙරළබඩ ආරක්ෂාව තහවුරු කිරීමට නියමිතය.
















