ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම අරමුණු කරගනිමින් වාර්ෂිකව නම් කරනු ලබන ජාතික පෝෂණ මාසය වෙනුවෙන් සංවිධානය කළ 2026 වසරේ සැමරුම් වැඩසටහන අද (22) කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, දරුවන්ගේ නිරෝගීභාවය සහ පෝෂණය තහවුරු කිරීම අරමුණු කරගත් “සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය” නිල වශයෙන් එළිදක්වනු ලැබීය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ තාක්ෂණික දායකත්වයෙන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් මෙම මාර්ගෝපදේශය සම්පාදනය කර තිබේ.
පාසල් සිසුන් සඳහා පෝෂ්‍යදායී, සෞඛ්‍යාරක්ෂිත සහ දැරිය හැකි මිලකට ආහාර ලබාදෙන ‘සිසු හිතකාමී පාසල් ආපනශාලා’ පද්ධතියක් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. බෝ නොවන රෝග අවදානමෙන් දරු පරපුර ආරක්ෂා කිරීම, නිවැරදි ආහාර පුරුදු සහ ආකල්ප වර්ධනය කිරීම, ආපනශාලා සනීපාරක්ෂාව සහතික කිරීම වැනි ප්‍රධාන අරමුණු පහක් මුල් කරගනිමින් මෙය ක්‍රියාත්මක කෙරේ. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ, මෙරට පෝෂණ ගැටලුවලට විසඳුම් සෙවීමේදී දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දැඩි හා තීරණාත්මක පියවර ගැනීමට රජය පසුබට නොවන බවයි.
පසුගිය කාලසීමාව තුළ ආහාර රෙගුලාසි නිකුත් කිරීමේදී ඇතැම් අනුග්‍රාහක සමාගම් තම ව්‍යාපෘතිවලින් ඉවත් වුවද, රටේ සංවර්ධනයට දායක වන දරුවන්ගේ සෞඛ්‍යය වෙනුවෙන් හානිකර ආහාර ප්‍රතික්ෂේප කිරීමේ අත්‍යවශ්‍යතාව අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය. මෙම උත්සව අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සහ යුනිසෙෆ් (UNICEF) නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ. ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, ශ්‍රී ලාංකේය පාසල් පද්ධතිය තුළ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් ස්ථාපිත කිරීමට මහඟු පිටුවහලක් වනු ඇත.
















