නිසල රැයක දැඩි නිහඬතාවය බිඳ දමමින් නානුඔය කිරිමැටිය ප්‍රදේශයේ නිවැසියන් දැඩි කම්පනයකට පත් කරමින් සිදු වූ ඒ බිහිසුණු ශබ්දය මුළු පළාතම සලිත කරවන්නට සමත් විය. තලවකැලේ ඩෙස්පෝඩ් හරහා නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ඊයේ රාත්‍රී 11ට පමණ ගමන් කරමින් තිබූ රථයක් කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මොහොතක ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ මෙම අනතුරෙන් මුළු ප්‍රදේශයම භීතියෙන් ඇලලී ගියේය. රථය මාර්ගයෙන් ඉවතට පැන සෘජුවම අසල තිබූ නිවසක් මතටම පෙරළී ගොස් තිබුණේ නිවැසියන්ගේ ජීවිත පවා දැඩි අනතුරකට ලක් කරමිනි.
මෙම අනතුරට හේතු වී ඇත්තේ අධික වේගයෙන් ධාවනය වූ බොලෙරෝ වර්ගයේ රථයක තිරිංග පද්ධතිය හදිසියේම ක්‍රියා විරහිත වීම බව නානුඔය පොලීසිය විසින් සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. පාලනය කරගත නොහැකි වූ රථය වේගයෙන් පැමිණ නිවස මතට කඩා වැදීමෙන් රථයේ ගමන් ගත් රියදුරා ඇතුළු තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර අනතුරින් රථයට මෙන්ම අදාළ නිවසටද දැවැන්ත දේපල හානි සිදුවී ඇත. තුවාල ලැබූවන් මේ වන විට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර නානුඔය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.
රාත්‍රී කාලයේ කඳුකර මාර්ග වල පවතින අවදානම සහ වාහන වල කාර්මික දෝෂ පිළිබඳව රියදුරන් මීට වඩා අවධානය යොමු කළ යුතු බව මෙම සිදුවීමෙන් අපට මනාව පැහැදිලි වෙයි. ඔබ පදවන වාහනයේ තිරිංග පද්ධතියේ විශ්වාසනීයත්වය පරීක්ෂා කර නොගැනීම යනු ඔබ පමණක් නොව මහමග යන සහ නිවෙස් වල සිටින අහිංසක මිනිසුන්ගේ ජීවිතද මාරයාට බිලි දීමකි. මාරයා පෙනි පෙනී ධාවන පථයේ වේගය වැඩි කරනවාද නැතිනම් විචක්ෂණශීලීව රිය පදවා නිරුපද්‍රිතව ගමනාන්තය කරා යනවාද යන්න තීරණය කිරීම ඔබේ වගකීමකි.
















