27 April 2024
#දේශීය

ජනතාවාදී පාලනයකට ජාතික ජන බලවේගය සූදානම් – අනුර දිසානායක

මේ පාලනය පළවා හැරීම සඳහාත් ජනතාවාදී පාලනයක් ගොඩනැගීම සඳහාත් ජනතාව පෙළ ගැස්වීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (20) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී අනුර දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය ” අද අපේ රට විශාල ආර්ථික ආපදා තත්වයකට මුහුණපා තිබෙනවා. භාණ්ඩ මිල ඉහළ යාම, භාණ්ඩ හිඟය, ආර්ථිකය මුළුමනින්ම ආණ්ඩුවෙන් ගිලිහී කළු ආර්ථිකය ප්‍රබල වීම සිදුව තිබෙනවා. පසුගියදා මහ බැංකුව රුපියල පාවෙන්න ඉඩ හරින්න තීරණය කළා. ඩොලරයේ අගය රු.280 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කළු වෙළඳපොළේ එම අගය රු.300ට වඩා ඉහළයි. ආණ්ඩුවේ නිල රෙගුලාසිවලට පිටින් කළු ආර්ථිකයක් නිර්මාණය වීම නිසා ජනතාවගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා සාධාරණ මිලකට ලබාදෙන්න ආණ්ඩුවට නොහැකිවී තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ(19) රාත්‍රියේදී කිරිපිටි මිල අධික ලෙස ඉහළ ගියා. ඉන්ධන මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ආපන ශාලාවල ආහාරපාන ඉතා මිල අධිකවී තිබෙනවා. ඉන්ධන මිල ඉහළ යාම නිසා සමස්ථ ආර්ථිකයම ආපදාවකට ලක්වී තිබෙනවා. එහි පීඩාව සෑම තරාතිරමක ජනතාවටම විඳින්න සිදුවෙලා. ජනතාව එහි ගොදුරක් බවට පත්වෙලා. වැලිපැන්න ප්‍රදේශයේ 37 හැවිරිදි පියෙක් තමන්ගේ දරුවන් බඩගින්නේ ඉන්නවා දරාගන්න බැරිව සියදිවි හානිකර ගත්තා. නුවර, යටිනුවර වීදියේ පිරවුම්හලක් අසල භූමිතෙල් පෝලිමේ සිටි 71 හැවිරිදි පියෙක් මියගියා. ජනතාවගේ ජීවිතය බිලිගනිමින් අර්බුදය ඉදිරියට තල්ලු වෙමින් තිබෙනවා. නමුත් මෙම අර්බුදය විසඳා ජනතාවගේ ජීවිත සුවපත් කිරීම සඳහා මූලික වගකීම තිබෙන පාලකයින් සහ ආණ්ඩුව හිරි වැටුණු ස්වභාවයක පසුවෙනවා. ඒ වගේම ඔවුන් තමන්ගේ නාස්තිකාර සල්ලාල දේශපාලන ජීවිතය අත්හැර නැහැ.

අද රටේ ගොවි ජනතාව තමන්ගේ යන්ත්‍රෝපකරණවලට ඉන්ධන නැතිව ලතවෙනවා. ධීවරයාට මුහුදු යන්න ඉන්ධන නැහැ. දෛනිකව තමන්ගේ වාහනයෙන් බඩු ප්‍රවාහනය කරපු රියදුරෙකුට ඒක කරගෙන යන්න විදිහක් නැහැ. බඩගින්නේ වැළපෙන දරුවෙකුට කිරි වීදුරුවක් ලබාදෙන්න බැහැ කිරිපිටි පැකට් එකක මිල විශාල ලෙස ඉහළ ගිහිල්ලා. ගෑස් නොමැති වීම සහ ගෑස්වල මිල ඉහළ යාම නිසා ගෘහණියකට නිවසේ කටයුතු කරගෙන යන්න බැහැ. ආපන ශාලා හිමියන්ට එය පවත්වාගෙන යන්න බැහැ. ඒ තරමට පුරවැසියන් පීඩාවකට, අසරණභාවයකට පත්වෙලා. ඒ නිසා රටේ හැමතැනින්ම ජනතාවගේ විරෝධය පැනනගිමින් තිබෙනවා. “මුං පන්නන්න ඕනෑ, මොකා හරි එක්ක එකතු වෙලා ආණ්ඩුවක් හදන්න ඕනෑ” කියන අඳෝනාවක් තිබෙනවා. පෝලිම්වල අඬනවා. පෝලිම්වල සිහි නැතිවෙලා වැටිලා මිය යනවා, ජනතාව එවැනි ඛේදවාචකයක සිටියදී එය නොපෙනෙන තරමට පාලකයින් හිරි වටිලා තිබෙනවා. එනිසා අපි කාගේත් වගකීමක් තිබෙනවා, මේ ආණ්ඩුව පළවා හරින්න. ඒ වෙනුවෙන් මේ රටේ ජනතාව පෙරට ආ යුතුයි. මේ ආණ්ඩුව පළවා හැරලා ඒ පන්නයේම නාඩගම් කාරයෝ පිරිසකට පාලන බලය අත්පත් කරගන්න ඉඩතියන්න හොඳ නැහැ. එනිසා මේ වෙලාවේ ජීවත්වන අපේ පරම්පරාවේ මිනිස්සුන්ගේ වගකීම තමයි අපේ දරුවන්ට මීට වඩා සුරක්‍ෂිත රටක් අනාගතයක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් මේ පාලකයින් පළවා හැරීමටත් ජනතාවාදී පාලනයක් ගොඩනැගීමටත් මැදිහත් වන එක. ඒනිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා අපි සියලු දෙනා එක්ව මේ රට ගොඩනගමු.

එය කේන්ද්‍ර කරගනිමින් එළඹෙන 23වැනිදා විශාල ජනබල විරෝධයක් සංවිධානය කොට තිබෙනවා. පෙළපාලිය දෙල්කඳ මංසන්ධියෙන් ආරම්භ කොට නුගේගොඩදී විශාල විරෝධතා රැලියක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. මේ ආණ්ඩුව පළවා හැරීමත් දිගු කාලයක් තිස්සේ අනුගමනය කරන වැරදි ආර්ථික ගමනෙන් රට මුදවා ගැනීමටත් ජනතාවාදී පාලනයක් ගොඩනැගීමත් අරමුණු කර ගනිමින් මෙම සටන ආරම්භ කරනවා. ඒ සඳහා පුරවැසියන්ට අපි ආරාධනා කරනවා. වළකට වැටීම මොළයට හොඳයි. අපේ රටේ ජනතාව වැටෙන්න පුළුවන් ගැඹුරුතම වළට වැටී අවසන්. දැන් ඔබ අවදිවෙන්න. මොන වෙස්මුහුණෙන් ආවත් වංචාව දූෂණය පිරුණු ක්‍රමයකට අපේ රට ගොඩගන්න බැහැ. තීරණාත්මක ලෙස මෙම ආර්ථික සංවර්ධන උපායමාර්ග වෙනස් කළ යුතුව තිබෙනවා. ඒ සඳහා වූ නව ජනතා පෙළ ගැස්මක් අවශ්‍යයි. ඒ නිසා අපි මෙම අර්බුදය සහ පීඩනය යොදා ගත යුත්තේ තාවකාලිකව විරෝධය පළ කිරීමට, කෑ ගැසීමට හෝ හඬා වැළපීමට නොවේ. එය යොදා ගත යුත්තේ වඩාත් නිවැරදි දේශපාලන සහ ආර්ථික සංස්කෘතියක් සහිත ජනතා ආණ්ඩුවක් ගොඩනැගීම සඳහායි. ඒ සඳහා මේ රටේ සියලුම ජනතාවට අපි ආරාධනා කරනවා. අර්බුදයකදී එහි ගිලී මිය යනවාට වඩා එහි පාඩම් ඉගෙන ගෙන අලුත් මාවතක් සොයා ගැනීම සඳහා අර්බුදය යොදා ගමු කියලා අපි ජනතාවට යෝජනා කරනවා.යැයි අනුර දිසානායක මහතා මෙලෙස අදහස් පල කලේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *