ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක පානීය ජල ව්‍යාපෘතියේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 1,159 වැනි ප්‍රතිශීතක පානීය ජල පවිත්‍රකරණ මධ්‍යස්ථානය මිහින්තලේ, ලේලාරගම, කටුකැත්යාල ප්‍රදේශයේදී 2026 අගෝස්තු මස 05 වන දින ජනතා අයිතියට පත් කරන ලදී.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ජනාධිපති කාර්යාලයේ මූල්‍යමය දායකත්වයෙන් මෙන්ම, නාවික හමුදාවේ තාක්ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.
මෙම නව ජල පවිත්‍රකරණ මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමත් සමඟ, නාවික හමුදාව විසින් දිවයින පුරා ස්ථාපනය කරන ලද ප්‍රතිශීතක පානීය ජල පවිත්‍රකරණ මධ්‍යස්ථාන සංඛ්‍යාව 1,159 දක්වා ඉහළ ගොස් තිබේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලේලාරගම කටුකැත්යාල ග්‍රාමයේ ඉදි කෙරුණු මෙම මධ්‍යස්ථානය මඟින් ප්‍රදේශයේ විශාල ජනකායකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකි වේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමේ මෙම අගනා සමාජ සත්කාරය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට නියමිතය.














