27 April 2024
#දේශීය #පුවත්

ජනතාවගේ ජිවන බර අඩු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරනවා – රාජ්‍ය අමාත්‍ය ශාන්ත

ජනතාවගේ ජිවන බර වැඩි බවත් එම වැඩිවන ජිවන බර අඩු කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පක්ෂයක් වශයෙන් වැඩකටයුතු සිදුකරමින් පවතින‍ බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (26) ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා, “අපි මේ දිනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සංවිධාන කටයුතු , ප්‍රතිසංවිධාන කටයුතු මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය තුළ සහ බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කරගෙන යනවා. ලංකාව පුරාම ආසන සංවිධායකවරුන් සහ පළාත් පාලන නියෝජිතයින් ඇතුළු සියලුදෙනා දැනුවත් කරලා ක්‍රමවත් වැඩපිළිවෙලක් සූදානම් කරලා මේ දිනවල ඒ සංවිධාන කටයුතු ක්‍රියාත්මක කරගෙන යනවා. හෙට දවසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව රැස්වෙනවා. ඒ විධායක සභාව රැස්වෙලා පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳවත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත කම්කරු දිනය සැමරීම සම්බන්ධයෙනුත් විශේෂ තීන්දු තීරණ සහ එහි සංවිධාන කටයුතු අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි මැයි දින රැලිය පවත්වන්න යෝජනා වුණේ ගෝල්ෆේස් පිටියේ. නමුත් දැන් ගෝල්ෆේස් පිටිය රැළිවලට, දේශපාලන කටයුතුවලට ලබානොදෙන්න රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තිබෙනවා. ඒ නිසා එම ස්ථානය ගන්න බැරි නිසා වැඩිම ජනගහනයක් ඒකරාශි කරන්න පුළුවන් ස්ථානය තමයි කොළඹ තිබෙන කැම්බල් පිටිය. ඒ නිසා අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළිය කැම්බල් පිටියේදී පැවැත්වීම සඳහා පක්ෂ නායකත්වය විසින් තීරණය කරලා අපව දැනුවත් කරලා තිබෙනවා. ඒ සඳහා ලංකාව පුරාම සෑම ග්‍රාමසේවා වසමකින්ම කම්කරු ජනතාවට අවශ්‍ය සහයෝගය, ශක්තිය ලබාදීම සඳහා පිරිස් පැමිණීමට අවශ්‍ය සංවිධාන කටයුතුත් මේ දිනවල අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ නිසා විශාලම පිරිසක් සහභාගිවන දැවැන්තම මැයි දින රැළිය පවත්වන්න පෙර පරදිම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවරත් කටයුතු කරනවා. රටේ ඇතිවුණු විවිධ පරිපාලන, දේශපාලන ගැටලු නිසා පාක්ෂිකයන් අපේ පක්ෂයෙන් ඉවත්වෙලා ගිහිල්ලා කියලා සමහරු හිතුවා. මේ පිළිබඳව අපි සොයා බැලුවා. ඔවුන් යම් නිහඩතාවයක් තිබුණා තමයි. නමුත් ඒ නිහඩතාවය පක්ෂය හැරයාමට හේතුවක් කරගෙන නැහැ. ඔවුන් නැවතත් අපේ කරුණු පැහැදිලි කිරීමත් එක්ක සියලුදෙනාම නැවතත් අපිත් සමඟ ඒකරාශිවෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක ඉදිරියටත් දේශපාලන කටයුතු කරන්න ඔවුන් එකඟවෙලා තිබෙනවා. ඒ නිසා අපි ඒ කාර්යභාර්යයන් ඉදිරිකාලය තුළදි ක්‍රියාත්මක කරගෙන යනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පහුගිය රජය පිහිටුවීමෙන් අනතුරුව අපට තිබුණනම් යම්කිසි චෝදනාවක්, ගැටලුවක් ඒ වෙනුවෙනුත් අපි එය නිවැරදි කිරීම සඳහා අපි කරන්න ඕන ඉහළම කැපකිරීම කළා. ඒ කැපකිරීම තුළ නැවත මේ රට යථාවත් කිරීමට හැකියාව ලැබුණා. කෝවිඩ් වසංගතයත් එක්ක ඇතිවුණු ආර්ථික අර්බුදයට මුහුණදෙන්න සිදුවෙලා ඒ ආර්ථික අර්බුදයෙන් නැවතත් ඒ රට ගොඩගැනීමේ කාර්යභාර්යයේදී අපි දේශපාලන පක්ෂයක සාමාජිකයෝ හැටියට පැහැදිලිවම අපේ ශක්තිය ලබාදුන්නා. අපි වැඩිමනක් මේ රටේ ආර්ථිකය නගාසිටුවීමේ කාර්යභාර්යයේද යුතුකම් කොටස පැහැදිලිව ඉටුකළා. අද ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ටික ලබාගන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. ඒ වගේම ඉන්ධන, ගෑස් ප්‍රශ්න විසඳිලා තිබෙනවා. ඒ වගේම ප්‍රධාන ප්‍රශ්නය තමයි ජනතාවගේ ජිවන බර වැඩි, ඒ ජිවන බර අඩු කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න වැඩකටයුතු කරගෙන යනවා. ජනතාවට උපරිම සහනයක් ලබාදීම සදහා අවශ්‍ය වැඩපිළිවෙල දේශපාලන පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉටුකරලත් තිබෙනවා, ඉටුකරමිනුත් ඉන්නවා, ඉදිරියටත් ඉටුකරනවා කියන එක පැහැදිලිව මතක් කරන්න කැමති ”යනුවෙන් රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මෙහිදි සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *