ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් වෙනුවෙන් දැනට පවතින ක්‍රමවේදයට වඩා වෙනස්, ඔවුන්ගේ සේවා කාලය සහ ආදායම් මට්ටම්වලට ගැළපෙන පරිදි සකස් කළ නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට රජය සූදානම් වන බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම යෝජිත නව ක්‍රමය යටතේ ශ්‍රමිකයින්ට විශ්‍රාම ගැනීමෙන් පසු මාසික විශ්‍රාම වැටුපක් ලබා ගැනීම හෝ සැලසුම පරිණත වූ පසු එකවර විශාල මුදලක් (Lump-sum) ලබා ගැනීම යන විකල්ප දෙකෙන් තමන්ට කැමති ක්‍රමයක් තෝරා ගැනීමට අවස්ථාව හිමි වේ.
මෙම “රටවිරු” විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා කුවේට් අරමුදල (Kuwait Fund) මඟින් රුපියල් මිලියන 2.1ක මුදලක් වෙන් කර ඇති අතර, 2026 දෙසැම්බර් 31 වැනිදාට පෙර මෙහි සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය. එසේම ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය සමඟ එක්ව විශේෂ ජංගම දුරකථන යෙදුමක් (Digital App) හඳුන්වා දීමට ද සැලසුම් කර ඇති අතර, එමඟින් ශ්‍රමිකයින් මෙරටට නීත්‍යානුකූලව එවූ මුදල් පිළිබඳ නිල වාර්තා ලබා ගැනීමටත්, එම දත්ත විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ගණනය කිරීම සඳහා විනිවිදභාවයකින් යුතුව භාවිත කිරීමටත් හැකි වේ. දැනට මිලියන 1.7ක පමණ ලාංකිකයින් පිරිසක් විදේශයන්හි සේවය කරන අතර, 2025 වසරේදී ශ්‍රී ලංකාව ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් වාර්තා කර තිබුණ ද, වත්මන් විශ්‍රාම වැටුප් ක්‍රමයේ ලියාපදිංචි වී ඇත්තේ ශ්‍රමිකයින් 307 දෙනෙකු පමණි. මෙම නව සුබසාධන වැඩපිළිවෙළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය ඒකාබද්ධව ස්වේච්ඡා පදනම මත ක්‍රියාවට නැංවීමට නියමිතය.
















