නයිජීරියාවේ වයඹදෙසින් පිහිටි කඩුනා (Kaduna) ප්‍රාන්තයේ ගම්මානයකට සන්නද්ධ කල්ලියක් විසින් එල්ල කළ දරුණු ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
කවුරු (Kauru) ප්‍රාදේශීය පාලන බලප්‍රදේශයට අයත් නාරිඩොන් (Naridon) ගම්මානයට මධ්‍යම රාත්‍රියට ආසන්න වෙලාවක කඩා වැදුණු සන්නද්ධ පිරිසක්, එහි වැසියන්ට අඩන්තේට්ටම් කරමින් නිවෙස්වලට ගිනි තබා ඇති බව ගම්වාසීහු පවසති. මෙම ප්‍රහාරයෙන් මියගිය අය අතර කුඩා ළමයින් 8 දෙනෙකු, කාන්තාවන් සහ වයෝවෘද්ධයින් ද වන අතර, තවත් සිව්දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.
සන්නද්ධ කල්ලි සහ අපරාධ කණ්ඩායම් විසින් එල්ල කරනු ලබන මෙවැනි ප්‍රහාර නයිජීරියාවේ වයඹ සහ මධ්‍යම ප්‍රදේශවල දැඩි ආරක්ෂක තර්ජනයක් බවට පත්ව ඇත.
මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් විසින් භාරගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩිදුර තොරතුරු වාර්තා කරන බව කඩුනා ප්‍රාන්ත පොලිස් මාධ්‍ය ප්‍රකාශක මන්සූර් හසන් (Mansur Hassan) මහතා සඳහන් කර තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














