පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 581 කට අයත් පුද්ගලයින් 2,331 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පවසයි.
මෙම ආපදා තත්ත්වය නිසා පුද්ගලයින් 6 දෙනෙකු අතුරුදන් වී ඇති අතර, එයින් දෙදෙනෙකු ගංවතුරට හසු වී ඇති අතර තවත් සිව්දෙනෙකු පස්කන්දකට යට වී ඇති බව සඳහන් වේ. මීට අමතරව, සිදුවූ අනතුරු හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවත්, පීඩාවට පත් වූ පුද්ගලයින් 1,734 දෙනෙකු මේ වන විට සුබසාධක මධ්‍යස්ථාන 7 ක් වෙත යොමු කර ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.














