විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් අංක දසදහසක් පමණ යොදා ගනිමින් අන්තර්ජාලය හරහා සිදු කළ කෝටි ගණනක මූල්‍ය වංචා ජාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වංචා විමර්ශන අංශ විසින් අනාවරණය කරගෙන තිබේ. කුලී පදනම මත සහ මුදල් ගෙවා ලබාගත් අන්සතු බැංකු ගිණුම් ඔස්සේ මෙම මූල්‍ය හුවමාරු සිදු කර ඇති අතර, මුහුණුපොත ඇතුළු සමාජ මාධ්‍ය හරහා නිවසේ සිට ආදායම් උපයාගත හැකි බවට පල කරන දැන්වීම් මඟින් ජනතාව මෙම උගුලට හසුකර ගන්නා බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.
ලාභ ලබන ව්‍යාපාරවලට සම්බන්ධ කර කොමිස් මුදල් ලබා දෙන බව පවසමින් මුල් අදියරේදී ගිණුම් හිමියාගේ විශ්වාසය දිනාගන්නා ජාවාරම්කරුවන්, පසුව ඔවුන්ගේ රහස් තොරතුරු ලබා ගනිමින් මහා පරිමාණ මූල්‍ය අපරාධ සඳහා මෙම ගිණුම් යොදා ගනිමින් අවසානයේ ඒවා ක්‍රිප්ටෝ කරන්සි හරහා විදෙස් ජාවාරම්කරුවන් අතට පත් කරයි. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 500ක් පමණ ලැබී ඇති අතර, නොදැනුවත්ව හෝ ගිණුම් අන්සතු කිරීම හේතුවෙන් සාමාන්‍ය පුරවැසියන් වංචාවලට ආධාර අනුබල දීමේ චෝදනාව මත නීතිය ඉදිරියේ අසරණ වී සිටින බැවින් කිසිදු විටෙක තම බැංකු ගිණුම් බාහිර පාර්ශ්වයන්ට ලබා නොදෙන ලෙස පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය දැඩි ලෙස අවධාරණය කරයි.
















