පලෙයි රක්ෂිතයේ තහනම් සංවිධානයකට අයත් කඳවුරක් ඇති බවට ව්‍යාජ පුවතක් ජනගත කිරීමේ සිද්ධියට අදාළව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් සංගීත් ජයසේකර නමැත්තා ලබන 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර තිබේ.
අන්තර් මහාද්වීපික මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ ලෙස තමන් හඳුන්වා ගත් මෙම සැකකරු කිලිනොච්චිය, පලෙයි ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයක් තුළ තහනම් සංවිධානයකට අයත් පුහුණු කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් ඇති බවට මාධ්‍ය හමුවක් පවත්වමින් අසත්‍ය ප්‍රකාශයක් කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා ඇත. තවද, සැකකරු ව්‍යාජ හැඳුනුම්පත් කිහිපයක් භාවිතා කර ඇති බවත්, මෙම ප්‍රකාශය සාමයට බාධාවක් සහ මහජන කැලඹීමක් ඇති කළ හැකි බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති යටතේ අත්අඩංගුවට ගත් බවත් ත්‍රස්ත විමර්ශන ඒකකය පෙන්වා දී තිබේ.
පලෙයි රක්ෂිතය තුළ සිදුකෙරෙමින් පවතින ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් මීට පෙර පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, සැකකරුගේ ප්‍රකාශය පොලිස්පතිවරයා විසින්ද සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබීය.














