ශ්‍රී ලංකාවේ සමස්ත අධිකරණ පද්ධතිය තුළ විසඳීමට ඇති නඩු සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 11 සීමාව ඉක්මවා ගොස් ඇති බව අධිකරණ අමාත්‍යාංශයේ අලුත්ම වාර්තාවලින් අනාවරණය වේ. 2025 ජුනි 30 වනදා වන විට දිවයින පුරා පිහිටි අධිකරණ 293 ක ගොඩගැසී ඇති මුළු නඩු සංඛ්‍යාව 1,134,474 ක් ලෙස සටහන් වන බව මව්බිම පුවත්පත වාර්තා කර ඇත. මෙම නඩු තදබදයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මහේස්ත්‍රාත් අධිකරණවලට වන අතර එහි පමණක් නඩු 818,869 ක් විභාග වෙමින් පවතී. මීට අමතරව දිස්ත්‍රික් අධිකරණවල නඩු 260,007 ක් ද, මහාධිකරණ (අපරාධ) තුළ නඩු 27,376 ක් ද ගොඩගැසී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.
අධිකරණ පද්ධතියේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 5,396 ක් සහ අභියාචනාධිකරණයේ නඩු 5,216 ක් විභාග වෙමින් පවතින අතර, සිවිල් අභියාචනා මහාධිකරණයේ නඩු 6,591 ක් සහ වාණිජ මහාධිකරණයේ නඩු 6,330 ක් ද තවමත් විසඳී නොමැත. ළමා මහේස්ත්‍රාත් අධිකරණවල නඩු 1,556 ක් සහ කම්කරු විනිශ්චය සභාවල නඩු 3,131 ක් ලෙස අනෙක් නඩු ප්‍රමාණයන් වාර්තා වන අතර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩු 65 ක් ද විභාග වෙමින් පවතී. මෙම දැවැන්ත නඩු ප්‍රමාණය ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට දැඩි අභියෝගයක් වී ඇති අතර අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාවය මෙයින් යළිත් තහවුරු වේ.














