උඩප්පුව පොලිස් වසමේ සින්නකොලනිය ප්‍රදේශයේ වෙරළ තීරයක තිබී හමුවූ නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුර හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටියි. මෙම මළ සිරුර පසුගිය ජූනි 22 දින සොයාගෙන ඇති අතර, සිරුර හඳුනාගත නොහැකි තත්ත්වයක පවතින බැවින් ඔහුගේ අනන්‍යතාව තවමත් තහවුරු කර නොමැත.
මියගිය පුද්ගලයා සතු සුවිශේෂී සලකුණු සහ දේහ ලක්ෂණ ලෙස ඔහුගේ පපුවේ වම් පැත්තේ “Esandi”, “Navindi” සහ “Senuri” යන නම් පච්ච කොටා තිබීමත්, දකුණු උරහිසෙහි රෝල් කරන ලද පත්‍රයක රූපයක් සහිතව “Rasanga Mama” යනුවෙන් සටහන්ව තිබීමත් දැක්විය හැකිය. තවද ඔහුගේ දකුණු අතෙහි වැලමිටට පහළින් “My life’s limits” යනුවෙන් ඉංග්‍රීසි අකුරින් පච්චයක් කොටා ඇති අතර, පිටුපස වම් පැත්තේ දරුවෙකු අතැති කාන්තාවකගේ පච්චයක්ද දක්නට ලැබේ. ආභරණ ලෙස වම් කනේ කුඩා කුරුසයක් සහිත රිදී පැහැති කරාබුවක් සහ අඟල් 1 1/2ක පමණ ප්‍රමාණයේ පෙන්ඩනයක් සහිත රිදී මාලයක් ඔහු පැළඳ සිටී.
සිරුර දැනට හලාවත රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මෙම මියගිය පුද්ගලයා හඳුනා ගැනීමට තොරතුරු දන්නා අයෙක් වේ නම් උඩප්පුව පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත 071 859 2175 හෝ උඩප්පුව පොලිස් ස්ථානය වෙත 032 225 8962 යන අංකවලින් අමතන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.
















