නිවාස ඒකක 1,000කින් සමන්විත ස්ටේඩිටම්ගම Port View Residencies නව මහල් නිවාස සංකීර්ණය අද (15) ජනතා අයිතියට පත් කර තිබේ.
මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරිණි.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන සැලසුම්වලට අනුකූලව, නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීම යටතේ කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් මෙම මහල් නිවාස සංකීර්ණය ඉදිකර ඇත.
ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 9,866ක් වන අතර, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ණය ආධාර යටතේ ලබාගෙන තිබේ.
මහල් 15කින් සමන්විත මෙම නිවාස සංකීර්ණයේ වර්ග අඩි 500ක ප්‍රමාණයෙන් යුත් නිවාස ඒකක 1,000ක් ඉදිකර ඇති අතර, නිවාසලාභීන්ගේ පොදු අවශ්‍යතා සපුරාලීම සඳහා පහසුකම් රැසක්ද සපයා තිබේ.
ඒ අනුව සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, ප්‍රජා ශාලාවක්, දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්, පොලිස් මුරපොලක්, ග්‍රාම නිලධාරී කාර්යාලයක්, ගිනි නිවීමේ ඒකකයක් සහ සුපිරි වෙළෙඳසැලක් ඇතුළු පහසුකම් රැසක් මෙහි ස්ථාපිත කර තිබේ.
මීට අමතරව ළමා උද්‍යානයක් සහ අත්පන්දු ක්‍රීඩා කිරීම සඳහා ස්ථානයක්ද නිවාස සංකීර්ණයට ඇතුළත් කර ඇත.
මහල් නිවාස යෝජනා ක්‍රමයේ ජනතා පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා පූර්ණ යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාවලියක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ යටතේ ප්‍රදේශයේ මාර්ග පද්ධතිය සහ ඇළ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම, නව ප්‍රජා ශාලාවක් ඉදිකිරීම සහ පවතින ක්‍රීඩාංගණය වැඩිදියුණු කිරීම ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.














