දිවයිනේ ප්‍රමුඛ පෙළේ සංචාරක කලාප කිහිපයක පිහිටා ඇති ජනාධිපති මන්දිර පහක් සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘති සඳහා දීර්ඝ කාලීන බදු පදනම මත බැහැර කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. බෙන්තොට, කතරගම, මහියංගනය, ඇඹිලිපිටිය සහ අනුරාධපුර යන ප්‍රදේශවල පිහිටි මෙම මන්දිර, රජය සතු නියමිත ඵලදායී නොවන දේපළ ආර්ථික වශයෙන් ප්‍රයෝජනවත් ව්‍යාපෘති සඳහා යොදා ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇත. වත්මන් ජනාධිපතිවරයා විසින් සිය නිල හෝ පෞද්ගලික කටයුතු සඳහා භාවිත නොකරනු ලබන මෙම මන්දිර, ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පාලනය වෙමින් පැවති අතර ඒවායේ ආරක්ෂාව සහ නඩත්තුව වෙනුවෙන් මහජන මුදල් විශාල වශයෙන් වැය කිරීමට සිදුව තිබිණි.
ඉතා ඉහළ වාස්තු විද්‍යාත්මක හා ආර්ථික වටිනාකමකින් යුත් අංගසම්පූර්ණ පහසුකම්වලින් සමන්විත මෙම දේපළ, සුදුසු ආයෝජකයන් වෙත විධිමත් යෝජනා කැඳවා බදු පදනම මත ලබා දීම හරහා මෙරට සංචාරක ක්ෂේත්‍රයට නව ප්‍රාණයක් ලබා දීමට අපේක්ෂා කෙරේ. රජයේ දේපළ නඩත්තු කිරීමේ බර ජනතාව මත පටවා තිබූ අකාර්යක්ෂම ක්‍රමවේදයකින් බැහැර වී, ඒවා ජාතික ආර්ථිකයට සෘජුව දායක වන ඵලදායී ව්‍යාපාරික අවස්ථා බවට පත් කිරීම මෙම පියවරේ මූලික අරමුණයි. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මෙමඟින් පුළුල් අවකාශයක් සැලසෙනු ඇත.
මෙම ව්‍යාපෘතිය විනිවිදභාවයෙන් යුතුව සහ නිවැරදි ආයෝජකයන් තෝරා ගනිමින් ක්‍රියාත්මක කිරීම මත මෙරට ආර්ථික ප්‍රකෘතියට ඉන් ලැබෙන දායකත්වය තීරණය වනු ඇත. රාජ්‍ය සම්පත් නිසි ලෙස කළමනාකරණය කරමින් ඒවා රටේ සංවර්ධන ක්‍රියාවලියට මුදා හැරීම අත්‍යවශ්‍ය වන අතර, මෙම තීරණය හරහා රාජ්‍ය මූල්‍ය මත පැටවී තිබූ අනවශ්‍ය බර අවම කර ගැනීමට මඟ පෑදෙනු ඇත. ඉදිරියේදී අදාළ ආයෝජන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක වීම මඟින් ප්‍රාදේශීය සංචාරක ව්‍යාප්තියට මෙන්ම සමස්ත ආර්ථිකයට ද සැලකිය යුතු ප්‍රතිලාභ අත්වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.














