පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුවේ තීන්දුව එළඹෙන ජූලි මස 31 වනදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (12) නියම කළේය.
ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව අද කැඳවනු ලැබූ අතර, එහිදී පාර්ශවකරුවන් විසින් වාචික හා ලිඛිත දේශන ඉදිරිපත් කර අවසන් කර තිබූ බැවින් විනිසුරු මඩුල්ල විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනය නිවේදනය කරන ලදී.
මේ අතර, මෙම චෝදනා සම්බන්ධයෙන්ම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව ද අද දින කැඳවනු ලැබීය. එහිදී පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතාත්, විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් නීතිඥ චමින්ද අතුකෝරළ මහතාත් දේශන ඉදිරිපත් කළහ. විත්ති පාර්ශවයේ වැඩිදුර දේශන ඉදිරිපත් කිරීම ලබන සඳුදා (ජූනි 15) දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.
















