ලෝක හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.
අල්ටිමේට් සහ ඩයමන්ඩ් ලීග් ශූරතා ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී රුමේෂ් තරංග සතුව තිබූ හෙල්ල 5කට දැඩි හානි සිදුව තිබුණි.
අද (15) අලුයම දිවයිනට පැමිණීමෙන් අනතුරුව රුමේෂ් තරංග සඳහන් කළේ, තමන් ශූරතාව දිනාගැනීම සඳහා භාවිත කළ හෙල්ලය ඇතුළු හෙල්ල සියල්ලම කැඩී තිබීම සම්බන්ධයෙන් දැඩි කනගාටුවට පත්වන බවයි.
එම හෙල්ල ඉදිරියේදී පැවැත්වෙන ආසියානු ශූරතාවලියට මෙන්ම 2027 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය සහ 2028 ඔලිම්පික් තරගාවලිය සඳහාද භාවිත කිරීමට තමන් අපේක්ෂා කළ බව රුමේෂ් සඳහන් කළේය.
එමෙන්ම, ජයග්‍රහණවලදී භාවිත කළ හෙල්ල සිහිවටන ලෙස තමන් සන්තකයේ තබා ගැනීමටද සැලසුම් කර තිබූ බව ඔහු පැවසීය.
තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි අතරතුර හෙල්ල කට්ටලයට හානි සිදුව ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් තුර්කි ගුවන් සේවයට පැමිණිල්ලක්ද සිදුකළ බව රුමේෂ් තරංග වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, 26 වැනිදාට පෙර රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රකාශ කර තිබේ.














