ලෙබනනයේ ආරක්ෂක තත්ත්වය සහ දකුණු ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම වන UNIFIL අවසන් වීමෙන් පසු ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙයි. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ලෙබනන් ජනාධිපති ජෝසෆ් අවුන් සහ ජෝර්දාන රජු අබ්දුල්ලා දෙවැනිවරයාගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡා ආරම්භ වී තිබේ.
මෙහිදී ලෙබනන් සන්නද්ධ හමුදාවට අවශ්‍ය පුහුණුව, උපකරණ, බුද්ධි තොරතුරු හුවමාරුව සහ උපදේශන සහාය ඇතුළු කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතය. UNIFIL මෙහෙයුම අවසන් වීමෙන් පසු ඇතිවිය හැකි ආරක්ෂක හිස්තැන පිරවීම සඳහා එක්සත් ජාතීන්ගේ මැන්ඩේට් එකකින් තොර නව ජාත්‍යන්තර මෙහෙයුමක් හෝ යුරෝපා සංගමය මූලික කරගත් මෙහෙයුමක් පිළිබඳ විකල්පද සාකච්ඡා කෙරෙමින් පවතී.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය 2025දී UNIFIL මැන්ඩේට් එක අවසන් වරට 2026 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර ඇති අතර, එදින සිට වසරක කාලයක් තුළ මෙහෙයුම ක්‍රමානුකූලව අවසන් කර ඉවත් කිරීමට තීරණය කර තිබේ. මේ අතර දකුණු ලෙබනනයේ ගැටුම් සහ ප්‍රහාර තවදුරටත් වාර්තා වීම හේතුවෙන්, UNIFIL පසුකාලීන ආරක්ෂක සැලැස්මක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය ඉහළ ගොස් ඇත.














