නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සහ බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
මන්නාරම නච්චිකුඩා යහප්පාරු සහ යාපනය කුඩරිප්පු වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව සැප්තැම්බර් 16 සහ 17 යන දිනවල සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බව සඳහන් වේ. එහිදී මුහුදු කූඩැල්ලන් 1,400ක් සහ යාත්‍රා තුනක් නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
සැප්තැම්බර් 16 වැනිදා නච්චිකුඩා යහප්පාරු වෙරළ ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන පුද්ගලයින් තිදෙනෙකු සමඟ මුහුදු කූඩැල්ලන් 550ක් සහ යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැප්තැම්බර් 17 වැනිදා කුඩරිප්පු ප්‍රදේශයේදී රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ බවට සැකකෙරෙන තවත් සිව්දෙනෙකු සමඟ මුහුදු කූඩැල්ලන් 850ක් සහ ඩිංගි යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගෙන ඇති බව එම වාර්තාවේ දැක්වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 29ත් 46ත් අතර මන්නාරම සහ යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වන අතර, ඔවුන්, මුහුදු කූඩැල්ලන් තොගය සහ යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදී ඇති බව වාර්තා වේ.














