22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට බලපෑමක් එල්ල වන බවත්, එය ජන බලයෙන් පරාජයට පත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, 22 වැනි සංශෝධනයට විරෝධය පළ කරමින් එළැඹෙන 24 වැනිදා පොල්දූව මංසන්දියේ පැවැත්වීමට නියමිත සාමකාමී උද්ඝෝෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින්.
22 වැනි සංශෝධනය මඟින් ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බල බෙදීම හා සංවරණ සහ තුලන ක්‍රමයට බලපෑම් එල්ල විය හැකි බවට විපක්ෂ නායකවරයා චෝදනා කළා.
විකල්ප ආණ්ඩුව ලෙස රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ආරක්ෂා කිරීම සිය වගකීම බවත්, ඒ සඳහා සියලු ප්‍රගතිශීලී කොටස් එක් කර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවක් පවත්වන බවත් ඔහු සඳහන් කළා.
එමෙන්ම විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම ජනතා පරමාධිපත්‍යයට බලපාන කරුණක් බැවින්, ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට පූර්වාදර්ශ පවතින බවද විපක්ෂ නායකවරයා පැවසුවා.














