රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කර තිබෙනවා. රාජ්‍ය අංශයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා පැහැදිලි කාලසටහනක් ඉදිරිපත් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියා.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ මෙම කරුණ මතු කළ විපක්ෂ නායකවරයා, මෙරට රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව සහ ඔවුන්ට රැකියා ලබාදීම සඳහා ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ තොරතුරු හෙළි කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා තිබෙනවා.
මැතිවරණ සමයේ උපාධිධාරීන්ට රැකියා ලබාදීමට පොරොන්දු ලබාදී තිබුණද, වසර දෙකකට පසුවත් බොහෝ දෙනෙකු රැකියා අපේක්ෂාවෙන් සිටින බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ පළාත් සභාවල සෘජු උපාධිධාරී බඳවාගැනීම් සඳහා පවතින පුරප්පාඩු සංඛ්‍යාව සහ ඒවා 2026 වසර අවසන් වීමට පෙර පිරවීමට සැලසුම් කර තිබේද යන්න පිළිබඳවද ඔහු විමසා තිබෙනවා.
සංවර්ධන නිලධාරීන් බඳවාගැනීම සහ උපාධිධාරී සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමේ සැලසුම් පිළිබඳවද විපක්ෂ නායකවරයා කරුණු විමසා ඇති අතර, රාජ්‍ය අංශයට පමණක් සීමා නොවී පෞද්ගලික අංශයේද උපාධිධාරීන්ට රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා තිබෙනවා.
ඉදිරි සති කිහිපය තුළ අයවැය ඉදිරිපත් කිරීමට නියමිත බැවින්, උපාධිධාරී විරැකියාවට විසඳුම් ලබාදීම සඳහා අවශ්‍ය දත්ත සහ සැලසුම් මේ වනවිටත් රජය සතුව තිබිය යුතු බවද ඔහු පෙන්වා දී තිබෙනවා.
















