2024 වසරේ ජනවාරි සිට 2025 වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින පුරා සතොස වෙළෙඳසැල් 31ක් පමණ වසා දමා ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා පවසයි. අද (08) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී චානක මාදුගොඩ මහතා ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
වත්මන් ආණ්ඩුව මෙරට බලය අත්පත් කරගන්නා අවස්ථාවේදී සතොස ආයතනය රුපියල් බිලියන 24ක පාඩුවක් ලබා තිබූ බවත්, ඒ වනවිට රුපියල් බිලියන 11ක ණයක් සහ රුපියල් බිලියන 05ක බැංකු අයිරාවක් එම ජාලය සතුව පැවති බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇති අතර, මේ වසරේ අගෝස්තු මස 17 වැනිදා වනවිට රට පුරා ක්‍රියාත්මක වන සතොස වෙළෙඳසැල් සංඛ්‍යාව 424ක් බව ද හෙතෙම ප්‍රකාශ කර ඇත.














