ඉන්දියාවේ සික්කිම් (Sikkim) ප්‍රාන්තයේ ඉදිවෙමින් පවතින ‘තීස්ටා VI අදියර’ (Teesta Stage-VI) ජල විදුලිබල ව්‍යාපෘතියට අයත් උමගක් තුළ සිදුවූ මීතේන් ගෑස් පිපිරීමක් සහ නායයාමක් හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 15 දෙනෙකුට වැඩි පිරිසක් උමඟ තුළ සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සික්කිම් හි නාම්චි (Namchi) දිස්ත්‍රික්කයේ සිදු වූ මෙම අනතුරත් සමඟ ඇති වූ නායයාමෙන් උමඟේ පිටවීමේ මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ගොස් තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී ඉංජිනේරුවන් සහ සේවකයින් පිරිසක් එහි නිරීක්ෂණ කටයුතුවල නිරතව සිට ඇති අතර, සහන සැලසීමට ගිය ජාතික ජලවිදුලි බල සංස්ථාවේ (NHPC) නිලධාරීන් කිහිපදෙනෙකු ද උමඟ තුළ සිරවී ඇත. ජාතික ආපදා ප්‍රතිචාර බලකාය (NDRF) ඇතුළු ආරක්ෂක අංශ විසින් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, අධික විෂ වායු, ඝන දුමාරය සහ වර්ෂාව හේතුවෙන් එම කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ.
















