27 April 2024
#දේශීය

පුංචි ඡන්දය කල් දාන්නේ නෑ – ඇමැති දිනේෂ්

පළාත් පාලන ඡන්දය කල් දැමීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බවත්, එය ඉතා පැහැදිලි බවත්, පළාත් සභා, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ 27 වනදා පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව එහි පැවති රැස්වීමකදීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය. ” අද පවතින මෙවැනි අභියෝග දිනන්න පුළුවන් අලුත් පරම්පරාවක් මේ පළාත් පාලන ක්ෂේත්‍රයේ බිහිවෙලා තියෙනවා. තරුණ නියෝජිතයෝ රාශියක් අඩියෙන් අඩිය ඉදිරියට ඇවිල්ලා ඉහළට ඇවිල්ලා තියෙනවා. ඒක පළාත් පාලන ක්ෂේත්‍රයටත්, ජාතික දේශපාලනයටත් ඉතාම වැදගත්. මම ඇමතිතුමා හැටියට කියනවා අපි බලාපොරොත්තු වෙන්නේ නෑ පළාත් පාලන ඡන්දය කල් දාන්න. ඒක ඉතා පැහැදිලියි. ඒ නිසා පළාත් පාලනයේ මීළඟ ඡන්දයට ඉස්සෙල්ලා පුහුණ කළ හැකි හෝ මඟ පෙන්විය හැකි විශාල පිරිසකට ඒ මඟ පෙන්වීම කරන්න කියලා පළාත් පාලන ආයතනයේ අපේ ආචාර්යතුමාගෙන් ඉල්ලා සිටිනවා. මොකද? අපි තමුන්නාන්සේලා, මේ ආයතනය, මීට වඩා වැඩ කොටසකට, අභියෝගයකට ගමන් කරලා ලබා දිය හැකි සහයෝගය පළාත් පාලන අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, ස්වදේශ කටයුතු අමාත්‍යංශය ඒකාබද්ධව විශේෂ වැඩපිළිවෙළක් හැටියට දියත් කිරීමට අවශ්‍යයි. ඔබගේ අදහස් බලාපොරොත්තු වෙනවා, මෙම ආයතනයේ ඉදිරි දියුණුව සඳහා. විවිධ පැතිවලින් සහයෝගයක් ලබා ගන්නා පුළුවන්, ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්නත් පුළුවන්, විශේෂ උනන්දුව දක්වන ක්ෂේත්‍රයන් සඳහා. මොකද අපි කාරක සභා ක්‍රමය ගැන යළිත් සාකච්ඡා වන කාලපරිච්ඡේදයක් මේක. පාර්ලිමේන්තුවෙත් කාරක සභා ක්‍රමය ගේන්න. මේ පළාත් පාලනයේ සභිකයන් අතර මොන මත තිබුණත් කාරක සභා ක්‍රමය හරහා තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ. කාරක සභා ක්‍රමය පාර්ලිමේන්තුවට ආවා රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙලාවේ. රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙලාවේ ඵලදායී පළාත් පාලන පනත එස්. ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමා ගෙනාවා. සෞඛ්‍ය පනත ගෙනාවා කාරක සභාව හරහා පක්ෂ විපක්ෂ ඔක්කොම එකතුවෙලා හදපු ඒ පනත් අදත් හෙල්ලෙන්නේ නැති පනත්. නිදහස් අධ්‍යාපන පනත නිසා ලංකාවේ දේශපාලන අර්බුදයක් ඇති වුණා. මා දකින පැත්ත. ඒක තමයි කාරක සභා ක්‍රමය තව දුරටත් තිබ්බොත් මීට වඩා සහාභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ඇති වෙනවා කියන එක. ඒ නිසා මේ වෙනුවට කැබිනට් ආණ්ඩුක්‍රමය ගේන්න ඕන කියලා තමයි, සොල්බරි ආණ්ඩුක්‍රමය ඇති වුණේ. ඩොනමෝර් හා සොල්බරි, මේ දෙක අතර තියෙන ප්‍රධාන වෙනස මේකයි. හොඳට කෙරුනු කාරක සභා ක්‍රමය වෙනුවට අපි කැබිනට් ආණ්ඩු ක්‍රමයක් ඇති කළා. ආණ්ඩුවයි, විපක්ෂයයි එකට ඡන්දය දුන්න අවස්ථා ගණන් කරලා බලන්න, කැබිනට් ආණ්ඩු ක්‍රමය තුළ. ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේදී, සභාගර්භය තුළ මොන විවේචන කළත් කාරක සභාවලදී එකතුවෙලා පනත් හදලා ඒ පනත් තමයි අදත් ක්‍රියාත්මක වන්නේ. අද තියෙන කම්කරු පනතත් එදා කාරක සභාවෙන් ආපු එකක්. ඒක හොල්ලන්න බෑ. මේ කාරක සභා ක්‍රමය කියන්නෙ, සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජාව සමඟත් සම්බන්ධය අවශ්‍යයයි. ප්‍රජාව, තුළ අද ජීවත්වනවා ප්‍රබුද්ධයන්. විශ්‍රාම ගිය ප්‍රබුද්ධයන්. ඒ අයගේ සේවාව ඒ ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයට උපදේශකයන් හැටියට හරි ලබා ගන්න මනසකින් අපි කටයුතු කළොත් මේ සම්පත් නෑ කියන කාරණාවට විසඳුම් එයි. නගරයට ඒන්න ඕන නෑ, ඒ ප්‍රදේශවලම ඉන්නවා අත්දැකීම් තිබෙන ඒ ස්වෙච්ඡාවෙන් හෝ ඇවිල්ලා කටයුතු කරන්න පුළුවන් අය. ඉතිං අලුත් ආකල්පවලින් අපි මේ අභියෝගය හරහා සංග්‍රාමය හරහා ගමන් කරමු ! “යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *