ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ජීවිත රක්ෂණ සමාගමක් වන සොෆ්ට්ලොජික් ලයිෆ් (Softlogic Life) ආයතනය, 2026 ජූනි 30 දිනෙන් අවසන් වූ පළමු මාස හය (1HFY26) සඳහා මෙතෙක් වාර්තා වූ ප්‍රබලතම අර්ධ වාර්ෂික කාර්යසාධනය වාර්තා කිරීමට සමත්ව ඇත.
මෙම කාල සීමාව තුළ සමාගමේ දළවාරම් ආදායම (GWP) රුපියල් බිලියන 26ක් දක්වා 39% කින් වර්ධනය වී ඇති අතර, එය මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වාර්තා වූ විශාලතම නිරපේක්ෂ දළවාරම් වර්ධනය වේ. මේ සමඟ 2026 දෙවන කාර්තුව වන විට සමාගමේ වෙළඳපල කොටස 20.3% දක්වා ඉහළ නංවා ගැනීමටද ඔවුන් සමත්ව තිබේ.
ප්‍රධාන මූල්‍ය සහ කාර්යසාධන විශේෂාංග අතර බදු පසු ලාභය රුපියල් බිලියන 1.46ක් (20%ක වර්ධනයක්) ලෙසත්, බදු පෙර ලාභය රුපියල් බිලියන 1.98ක් (14%ක වර්ධනයක්) ලෙසත් සටහන් වී ඇත. හිමිකම් සහ ප්‍රතිලාභ ගෙවීම් ලෙස රුපියල් බිලියන 10.4ක් ගෙවා ඇති අතර, මෙයින් රුපියල් බිලියන 7.2කට අධික මුදලක් සෞඛ්‍ය සහ ආරක්ෂණ හිමිකම් සඳහා පමණක් ගෙවා තිබේ. එමඟින් මෙරට වැඩිම සෞඛ්‍ය සහ ආරක්ෂණ හිමිකම් මුදලක් ගෙවන ආයතනය ලෙස ඔවුන් අඛණ්ඩව පෙරමුණ ගනී. සක්‍රීය ප්‍රතිපත්ති 870,000කට අධික සංඛ්‍යාවක් හරහා ශ්‍රී ලංකා ජාතිකයන් මිලියන 1.8කට අධික පිරිසකට ආරක්ෂාව සපයන මෙම සමාගමේ මුළු වත්කම් රුපියල් බිලියන 81.6ක් දක්වා වර්ධනය වී ඇත.
එමෙන්ම, 2025 ජූලි මාසයේදී ‘අලියන්ස් ලයිෆ් ඉන්ෂුරන්ස් ලංකා’ සමාගම අත්පත් කර ගැනීම සහ මෑතකදී (2026 ජූලි) බංග්ලාදේශයේ ‘ඩයමන්ඩ් ලයිෆ් ඉන්ෂුරන්ස්’ ආයතනයේ 60% ක පාලන කොටසක් මිලදී ගැනීම හරහා ශ්‍රී ලංකීය රක්ෂණ සමාගමක් සිදු කළ පළමු විදෙස්ගත අත්පත් කර ගැනීම වාර්තා කිරීමටද සොෆ්ට්ලොජික් ලයිෆ් සමත්ව තිබේ.
“අපගේ ශක්තිමත් උපායමාර්ගික සහ අඛණ්ඩ ක්‍රියාකාරීත්වය හේතුවෙන් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ විශාලතම දළවාරම් වර්ධනය අත්කර ගැනීමටත්, වැඩිම සෞඛ්‍ය හා ආරක්ෂණ හිමිකම් ගෙවන සමාගම ලෙස අඛණ්ඩව කටයුතු කිරීමටත් අපට හැකි වී තිබෙනවා,” යැයි සොෆ්ට්ලොජික් ලයිෆ් සභාපති අශෝක පතිරගේ මහතා පැවසීය.
















