ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුදමය තත්ත්වය සමනය කිරීම සඳහා වන සාම සාකච්ඡාවල ප්‍රගතියක් නොමැති වීම හේතුවෙන් දකුණු අප්‍රිකානු රැන්ඩ් (Rand) මුදලේ අගය අද (23) පෙරවරුවේ පහත වැටුණි. මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් බැරලයක් ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා යාම ආයෝජකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.
අද පෙරවරුවේ රැන්ඩ් මුදල ඩොලරයට සාපේක්ෂව 16.53ක් ලෙස සටහන් වූ අතර, එය පෙර දිනට වඩා 0.4%ක පහත වැටීමකි. බලශක්ති අවශ්‍යතා සඳහා ආනයන මත බෙහෙවින් යැපෙන දකුණු අප්‍රිකාව වැනි රටවලට මෙලෙස තෙල් මිල ඉහළ යාම සෘජු ආර්ථික බලපෑමක් එල්ල කරයි. හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඉරානය නෞකා දෙකක් අත්අඩංගුවට ගැනීමත් සමඟ කලාපීය නොසන්සුන්තාව තවත් උත්සන්න වී ඇති අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා ඇති මුහුදු මාර්ග අවහිරතා ඉවත් කරන තෙක් පූර්ණ සටන් විරාමයකට එකඟ විය නොහැකි බව ඉරානය ප්‍රකාශ කර ඇත.














