ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවේ ආරම්භය සනිටුහන් කරමින්, යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍යෝත්සවය අද (24) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පැවැත්විණි.
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාව සඳහා දිවයින පුරා පිහිටි යුද්ධ හමුදා රෙජිමේන්තු සහ ඒකක නියෝජනය කරමින් නිලධාරීන් සහ සෙසු නිලයන් එක්ව සිටියහ.
පාරම්පරික සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් සංස්කෘතික පෙරහැරකින් යුද්ධ හමුදා ධජය, රෙජිමේන්තු ධජ සහ ඒකක ධජ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැලිමළුව වෙත රැගෙන යනු ලැබීය. අනතුරුව එම ධජ උඩමළුව වෙත රැගෙන ගොස් පූජනීය බෝධීන් වහන්සේ වටා තැන්පත් කර විශේෂ ආශීර්වාද පූජාවන් පැවැත්විණි.
මහා සංඝරත්නය විසින් පිරිකර පූජා සහ සෙත් පිරිත් සජ්ඣායනා පවත්වමින් මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමත්, තුවාල ලැබූ රණවිරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් සිදු කළහ. එමෙන්ම දැනට සේවයේ නියුතු සියලුම යුද්ධ හමුදා සාමාජිකයන්ට සහ සමස්ත යුද්ධ හමුදාවට ආශීර්වාද ප්‍රාර්ථනා කිරීමද මෙහිදී සිදු කෙරිණි.














