ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ජ්‍යෙෂ්ඨ නිලධාරී මට්ටමේ සාකච්ඡාවල සයවැනි වටය සහ උපායමාර්ගික සාගර සංවාදයේ සිව්වැනි වටය ඉකුත් 21 වැනිදා කොළඹදී සාර්ථකව අවසන් වූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි. ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු හා වෙළෙඳ දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ප්‍රථම සහකාර ලේකම් සාරා ස්ටෝරි සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්. ආර්. කේ. ලෙනගල යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් මෙම සාකච්ඡා පවත්වන ලදී.
ද්විපාර්ශ්වික දේශපාලන කටයුතු, කෘෂිකර්මාන්තය, වෙළෙඳාම, ආරක්ෂක සහ අධ්‍යාපන යන ක්ෂේත්‍රවල සහයෝගීතාව සඳහා නව මංපෙත් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ. එමෙන්ම, කලාපීය, බහුපාර්ශ්වික සහ සාගර කටයුතු සම්බන්ධයෙන් දෙරට අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කර ඇත.
















