වසර ගණනාවක් තිස්සේ බොහෝ දෙනෙකුගේ සිහිනයක්ව පැවති, සොබාදහමේ අසිරිය විඳිමින් අහසින් යා හැකි කේබල් කාර් (Cable Car) ව්‍යාපෘති කිහිපයක් මෙරට සුන්දරම සංචාරක ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට රජයේ දැඩි අවධානය යොමු වී තිබේ. විදේශ සබඳතා, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳව තීරණාත්මක එකඟතාවන් කිහිපයකට එළඹුණු අතර, ඒ යටතේ ශ්‍රී පාදස්ථානය, කිකිළියාමාන සහ ඇල්ල වැනි ස්ථානවල මෙම නවීන සංචාරක අත්දැකීම ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනයන් සහ මූලික අවසරයන් ලබා ගැනීම කඩිනම් කර ඇත. මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වීමත් සමඟ මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගයක් බිහි වනු ඇති බවට බලධාරීන් විශ්වාසය පළ කරයි.
සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් මැයි මස 25 වන දා සිට රටවල් 40ක් සඳහා නිදහස් වීසා (Free Visa) පහසුකම ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී තීරණය කර ඇති අතර, එය සංචාරක පැමිණීම සීඝ්‍රයෙන් ඉහළ නැංවීමට හේතු වනු ඇත. මීට අමතරව යාල ඇතුළු ජාතික වනෝද්‍යාන 19ක සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ඉලක්ක පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. මෙය සුළු කරුණක් ලෙස පෙනුණ ද ජාත්‍යන්තර මට්ටමේ සංචාරක සේවාවක් සැපයීමේදී අත්‍යවශ්‍ය යටිතල පහසුකමක් බැවින්, එම ස්ථානවල නඩත්තු කටයුතු පෞද්ගලික අංශය වෙත පවරා විධිමත් පද්ධතියක් ස්ථාපිත කිරීමට දැන් කටයුතු සූදානම් කර තිබේ.
කොල්ලුපිටියේ සිට මුහුදුබඩ මාර්ගය ආශ්‍රිතව අලුතින්ම නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති විශේෂ සංචාරක කලාපය හරහා දෛනිකව 3000කට අධික සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන බව ද මෙහිදී අනාවරණය විය. සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ඇතුළු ඉහළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාව හරහා තහවුරු වන්නේ, ශ්‍රී ලංකාව හුදෙක් දූපතක් ලෙස නොව ලෝකයේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ඔසවා තැබීමට රජය සතු දැවැන්ත වැඩපිළිවෙළයි. නවීන තාක්ෂණය සහ ස්වභාවික සෞන්දර්යය එකට මුසු වූ මෙම දැවැන්ත සංවර්ධන මාවත විවර වීම, රටේ ආර්ථිකයට නව පණක් ලබා දෙනු නොඅනුමානය.














