අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා අතර සාකච්ඡාවක් ඊයේ (15) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පවත්වා තිබේ. මෙරට අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ, දූෂණය අවම කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග, e court ව්‍යාපෘතිය, voice-to-text තාක්ෂණය හඳුන්වාදීම සහ බන්ධනාගාර තදබදය අවම කිරීම වැනි ප්‍රතිසංස්කරණ පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී තානාපතිවරයාව දැනුවත් කර ඇත.
මහජන චීන සමූහාණ්ඩුවේ අධිකරණ පද්ධතිය තුළ ඩිජිටල්කරණය සහ AI තාක්ෂණය සාර්ථකව ක්‍රියාත්මක වන බැවින්, ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ඩිජිටල්කරණ කටයුතුවලට සහ AI තාක්ෂණය හඳුන්වාදීම වෙනුවෙන් තම සහාය ලබා දෙන බව චීන තානාපතිවරයා ප්‍රකාශ කර තිබේ. චීන අධිකරණ පද්ධතිය තුළ voice-to-text තාක්ෂණය සාර්ථකව භාවිත කරන බවත් තොරතුරු ලබා ගැනීමේදී පද්ධති එකිනෙකට සම්බන්ධව පවතින බවත් පෙන්වා දුන් ඒ මහතා, දෙරට අතර මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික අවබෝධය මත සංවර්ධන වැඩසටහන් සාර්ථක කර ගැනීමට සහයෝගය දැක්වීමට එකඟතාව පළ කර ඇත.














