හිටපු ජනාධිපතිවරයෙකුගේ පුතෙකු විසින් රේගු බදු වංචා කරමින් රුපියල් කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී මෝටර් රථ මෙරටට හොර රහසේ රැගෙන ඒමේ මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පසුගිය ආණ්ඩු සමයන්හිදී ක්‍රියාත්මක වූ මෙම ජාවාරම යටතේ කන්ටේනර් තුළ සඟවා සංවිධානාත්මක ලෙස මෙරටට රැගෙන ආ වාහන කිහිපයක් පිළිබඳව CIDය තොරතුරු අනාවරණය කරගෙන ඇත. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන්ගේ සහය ඇතිව මෙම වාහන ව්‍යාජ ලෙස ලියාපදිංචි කර ඇති අතර, ඒවා පරිහරණය කර ඇත්තේ දේශපාලනඥයන්ගේ දරුවන් බව හෙළි වී තිබේ. ඇතැම් වාහන රාජසන්තක කරනු වෙනුවට බදු ගෙවා නිදහස් කරගැනීමට අවස්ථාව සලසා දී තිබූ බව ද විමර්ශනවලදී පෙනී ගොස් ඇත.
ආණ්ඩු පෙරළියට සුළු කලකට පෙර CIDය විසින් වටලන ලද එවැනිම සුඛෝපභෝගී වාහනයක් දැනට ශ්‍රී ලංකා රේගුව භාරයේ පවතින අතර, වත්මන් රජය බලයට පත්වීම නිසා එය බදු ගෙවා නිදහස් කර ගැනීමට ජාවාරම්කරුවන්ට හැකි වී නැත. මෙම වාහනය තමන්ට අයත් එකක් බව අදාළ ජනපති පුතා ප්‍රකාශ කර ඇති අතර, ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා ඉදිරි සතිය තුළ ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
















