ශ්‍රී ලංකා සිනමාවේ අමතක නොවන මතකයන් සහ මිහිදන් වීමට තිබුණු පැරැණි සෙලියුලොයිඩ් සිනමා පට 900කට ආසන්න සංඛ්‍යාවක් ඩිජිටල්කරණයට පරිවර්තනය කරමින් මෙරට සිනමා ඉතිහාසය සුරැකීමට විශාල මෙහෙයක් ඉටු කළ නිර්මාණකරුවකු ලෙස ලලිත් පාලිත ද සිල්වා මහතා හැඳින්විය හැකිය. ජාතික සිනමා කෞතුකාගාරයේ සංරක්ෂිත සිනමා පට 237ක් ඇතුළුව මෙරට බොහෝ පැරැණි චිත්‍රපට ආරක්ෂා කරගැනීම සඳහා ඔහු විසින් නිර්මාණය කරන ලද ‘මි:මි 35 සෙලියුලොයිඩ් සිනමා පට ඩිජිටයිස් යන්ත්‍රය’ (ටෙලිසිනේ යන්ත්‍රය) අතිශයින් වැදගත් විය.
එහෙත්, මෙරට සිනමාව උදෙසා සිය ජීවිතයේ වැඩි කාලයක් කැප කළ හැටහත් හැවිරිදි වියේ පසුවන ලලිත් පාලිත මහතා අද වන විට පවුල ජීවත් කරවීම සඳහා දැඩි ආර්ථික අරගලයක නිරතව සිටීම කනගාටුදායක කරුණකි. සිනමාව ආරක්ෂා කිරීමට දිවා රෑ නොබලා කැප වුවද, අද වන විට ඔහුට ඒ වෙනුවෙන් ලැබී ඇති ප්‍රතිඵලය අඩුවීම මෙරට කලාකරුවන් මුහුණ දී සිටින කටුක යථාර්ථය මනාව පෙන්නුම් කරයි.














