ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මහජන විශ්වාසය යළි තහවුරු කිරීම, මූල්‍ය වගකීම් ශක්තිමත් කිරීම සහ වෘත්තීය පාලනයක් ස්ථාපිත කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව විසින් නව ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාවට නංවමින් සිටින බව එහි සභාපති එරාන් වික්‍රමරත්න පවසයි. ක්‍රිකට් ක්‍රීඩාව කිසිදු තනි පුද්ගලයෙකුට හෝ පරිපාලන මණ්ඩලයකට අයත් නොවන බවත්, එය සමස්ත ජනතාවටම හිමි ජාතික සම්පතක් බවත් පෙන්වා දුන් ඒ මහතා සියලු පාර්ශ්වකරුවන් නීතියට හා නීති රීතිවලට යටත්ව කටයුතු කළ යුතු බව අවධාරණය කළේය.
යෝජිත නව ව්‍යුහාත්මක රාමුව යටතේ ක්‍රිකට් පරිපාලනය මහජන භාරකාරත්ව මූලධර්මය මත පිහිටුවීමට අපේක්ෂා කරන අතර, එහිදී තේරී පත්වන මණ්ඩල සාමාජිකයන් ප්‍රතිපත්තිමය තීරණ සඳහා පමණක් වගකිව යුතු අතර දෛනික මෙහෙයුම් කටයුතු ස්වාධීන හා වෘත්තීය කළමනාකරණ කණ්ඩායමක් වෙත පැවරෙනු ඇත. ජාතික විගණන සහ මූල්‍ය රෙගුලාසිවලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්පූර්ණයෙන්ම යටත් වන බවත්, තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුළු විනිවිදභාවයේ අවශ්‍යතාවලින් ක්‍රිකට් ආයතනය නිදහස් වී ඇතැයි පැවති වැරදි වැටහීම් ප්‍රතික්ෂේප කරන බවත් හෙතෙම සඳහන් කළේය. ඊට අමතරව දිස්ත්‍රික් සංගම්, පළාත් ආයතන සහ සමාජ ඇතුළු අනුබද්ධ ආයතනද මූල්‍ය හා පාලන නීතිරීතිවලට අනුකූලව කටයුතු කළ යුතු බවත්, මූල්‍ය හෝ පරිපාලන අක්‍රමිකතා කිසිදු අයුරකින් ඉවසන්නේ නැති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.
















