ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ නැංගුරම්ලා ඇති ඉරාන නෞකාවන් වෙත ආහාර හෝ ජලය ලබා නොදෙන ලෙස එක්සත් ජනපදය විසින් මෙරට රජය වෙත කිසිදු බලපෑමක් හෝ තහනමක් පනවා නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දේශීය හා ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති මෙම කරුණ සම්බන්ධයෙන් රජයේ නිල ස්ථිරය ප්‍රකාශයට පත් කරමින්.
මේ වනවිට ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ සමස්ත නෞකා 47ක පමණ ප්‍රමාණයක් රඳවා පවතින අතර, ඉන් නෞකා 19ක්ම ඉරාන ධජය යටතේ ක්‍රියාත්මක වන නෞකාවන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මෙම ඉරාන නෞකා දිගු කාලයක සිට අදාළ මුහුදු ප්‍රදේශයේ රැඳී සිටින අතර, ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව නැංගුරම්ලා ඇති ‘බුෂියර්’ නෞකාව සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සහ එහි ආරක්ෂාව තහවුරු කිරීම ශ්‍රී ලංකා රජය විසින් අඛණ්ඩව සිදුකරනු ලබන බව ද ඔහු තහවුරු කළා.
කෙසේ වෙතත්, ඇමරිකානු සම්බාධකවලට ලක්ව ඇති නෞකාවන් වෙත සෘජුවම භාණ්ඩ සැපයීම රජයක් ලෙස ශ්‍රී ලංකාව විසින් මෙතෙක් සිදුකර නොමැති බව අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළා. ජාත්‍යන්තර සබඳතා සහ සාගර නීතිය පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කරන ශ්‍රී ලංකා රජය, සියලු ක්‍රියාමාර්ග ගනු ලබන්නේ ජාත්‍යන්තර සාගර නීති රීතිවලට අනුකූලව බවත්, රටේ ස්වෛරීභාවය සහ ජාත්‍යන්තර බැඳීම් සමතුලිතව පවත්වාගෙන යන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.














