කෑගල්ල දිස්ත්‍රික්කයේ කිතුල්ගල පිහිටි මන්නකැත්ත ඇල්ල ආශ්‍රිත පරිසර පද්ධතියෙන් ශ්‍රී ලංකාවට ආවේණික නව කූඩලු ශාක විශේෂයක් පර්යේෂකයන් විසින් හඳුනාගෙන තිබේ. එය විද්‍යාත්මකව *Impatiens yakandawalarum* ලෙස නම් කර ඇති අතර, මෙරට උද්භිද විද්‍යා ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් ඉටු කළ මහාචාර්ය කපිල යකන්දාවල සහ මහාචාර්ය දීප්ති යකන්දාවල යන මහත්ම මහත්මීන්ට ගරුකිරීමක් වශයෙන් මෙම නාමය භාවිත කර ඇත.
‘බෝල්සම්’ (Balsam) ශාක කුලයට අයත් මෙම නව විශේෂය සඳහා සිංහල භාෂාවෙන් “කිතුල්ගල කූඩලු” ලෙසත්, ඉංග්‍රීසි භාෂාවෙන් “Kithulgala Balsam” ලෙසත් පොදු නම් ලබා දී තිබේ. සලානි ගුණරත්න ලබාගත් ඡායාරූප නිරීක්ෂණය කළ පේෂල පසන් කරුණාරත්න සහ භාතිය ගොපල්ලව ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් පර්යේෂක කණ්ඩායමක් විසින් ක්ෂේත්‍ර පරීක්ෂණ මඟින් මෙය නව විශේෂයක් බව තහවුරු කරගෙන ඇත. බොහෝ *Impatiens* විශේෂවල දක්නට ලැබෙන උල් කොටසක් වෙනුවට උල් රහිත මල් පැණි ග්‍රන්ථියක් පැවතීම මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයක් වන අතර, මෙම සොයාගැනීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන *Impatiens* ශාක විශේෂ සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගොස් තිබේ.
















