පොදු මගී ප්‍රවාහන බස් රථ මගීන් නැංවීම හා බැස්සවීම සඳහා වෙන් කර ඇති බස් රථ නැවතුම් ස්ථානවල අනෙකුත් වාහන නවත්වා තැබීම හේතුවෙන් මාර්ගයේ රථවාහන තදබදයක් නිර්මාණය වන අතර මගීන්ගේ ජීවිතද අවදානමට ලක්වන බව නිරීක්ෂණය වී තිබේ. ආබාධිත පුද්ගලයන් සඳහා රෝද පුටු මඟින් ගමන් කළ හැකි බස් රථ සේවාවක්ද හඳුන්වා දී ඇති බැවින්, බස් නැවතුම්පළවල් කිසිදු අවහිරතාවයකින් තොරව පවත්වා ගත යුතුව ඇත.
මේ සම්බන්ධයෙන් රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයක්ද නිකුත් කර ඇති අතර, ඒ අනුව සාමාන්‍ය බස් නැවතුම්පළකට ළඟා වීමට මීටර් 30ක් ඇතුළත හා පිටවන මීටර් 15ක් ඇතුළතද, බස් නෙරුව (Bus Bays) සහිත ස්ථානයක ළඟාවෙන දෙසින් මීටර් 15ක් සහ පිටවීමේ දෙසින් මීටර් 10ක් ඇතුළතද අනෙකුත් වාහන නවතා තැබීම තහනම් කර ඇත. මගී ජනතාවගේ ආරක්ෂාව සහ සුරක්ෂිතතාව තහවුරු කරමින්, මෙම නීති කඩ කරමින් බස් නැවතුම්පළවල වාහන නවතා තබන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර තිබේ.
















