චිත්රපට ප්රදර්ශනය හා බෙදාහැරීම සම්බන්ධයෙන් දේශීය සිනමා කර්මාන්තය මුහුණදී තිබෙන ගැටලු කඩිනමින් විසඳා දෙන ලෙස සිනමාකරුවන්ගේ අයිතීන් සුරැකීමේ එකමුතුව බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ දුෂ්කරතාවන්ට මුහුණදී සිටින දේශීය සිනමා නිෂ්පාදකයන් ආරක්ෂා කරගැනීම සහ සිනමා ක්ෂේත්රයේ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා මෙම යෝජනා 5 ඉදිරිපත් කර ඇත.
ජාතික චිත්රපට සංස්ථාවේ ජෝ අබේවික්රම ශාලාවේදී පැවති විශේෂ හමුවකදී මෙම යෝජනා ඉදිරිපත් කර ඇති අතර, එහිදී අවිධිමත් චිත්රපට බෙදාහැරීමේ ක්රමවේදය විධිමත් කිරීම, ප්රදර්ශන මණ්ඩල කොමිස් මුදල 5% දක්වා අඩු කිරීම, දේශීය චිත්රපට සඳහා විනෝද බද්ද අහෝසි කිරීම, නිෂ්පාදකයාට ගෙවිය යුතු මුදල් නිශ්චිත කාලසටහනකට අනුව ලබාදීම මෙන්ම OTT ජාලවල සුරක්ෂිතභාවය සහ බුද්ධිමය දේපළ පනත යාවත්කාලීන කිරීම යන ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.
















