පසුගිය රජයන් සමයේ පැවති දේශපාලන අල්ලස් සහ මහජන මුදල් අවභාවිතය සම්පූර්ණයෙන්ම නතර කිරීම හේතුවෙන් රටේ සංවර්ධන කටයුතු සඳහා මුදල් ඉතිරි කරගැනීමට වත්මන් රජයට හැකි වී ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව කියා සිටියේ ‘පුනරුදයේ පුරවර’ වැඩසටහන යටතේ දිවයින පුරා ග්‍රාමීය පාලම් 881ක් ඉදිකිරීමේ ජාතික ව්‍යාපෘතිය කුරුණෑගල, රිදීගම ප්‍රදේශයෙන් ඊයේ (14) ආරම්භ කරමිනි.
මෙහි පළමු අදියර යටතේ රුපියල් මිලියන 1,050ක පිරිවැයකින් පාලම් 100කට වැඩි සංඛ්‍යාවක් සංවර්ධනය කෙරේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, පසුගිය නොවැම්බර් මාසයේ ඇති වූ දරුණු ස්වාභාවික ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් අයවැයට අමතරව රුපියල් කෝටි පනස්දහසක් වෙන් කිරීමට රජය පියවර ගත් බව සිහිපත් කළේය. බදු මුදල් විධිමත්ව එකතු කිරීම සහ රාජ්‍ය භාණ්ඩාගාරය නිසි ලෙස කළමනාකරණය කිරීම නිසා වසරක් ඇතුළත රුපියල් කෝටි ලක්ෂයක ධනයක් භාණ්ඩාගාරයට එකතු වූ බවත්, දැන් පාලම් කොන්ත්‍රාත්වලින් දේශපාලඥයන්ට ‘ජරාව’ දීමට අවශ්‍ය නොවන නිසා වෙන් කරන මුදලින් 100%ක්ම වැඩට යෙදවෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
















