ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පරිගණක සංගමයේ (CSSL) අඛණ්ඩ සහයෝගය සහ ස්වාධීන වෘත්තීය උපදෙස් රජය සක්‍රියව අපේක්ෂා කරන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව කියා සිටියේ BMICH හි පැවැති ශ්‍රී ලංකා පරිගණක සංගමයේ 50 වන රන් ජුබිලි සංවත්සර උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස එක්වෙමිනි.
“The Legacy of Excellence in Computing” යන තේමාව යටතේ පැවැති මෙම උලෙළේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, 1976 වැනි මුල් වකවානුවක ඇරඹි මෙම ආයතනය මේන්ෆ්‍රේම් (Mainframe) යුගයේ සිට වර්තමාන කෘතිම බුද්ධි (AI) යුගය දක්වා මෙරට තාක්ෂණික වෘත්තිකයන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව හැඩගැස්වීමට විශාල මෙහෙවරක් කළ බව පැවසීය. තාක්ෂණය නීති සම්පාදනයට වඩා වේගයෙන් ඉදිරියට යන බැවින්, රජයට ස්වාධීන වෘත්තීය උපදෙස් ලබාදීමට මෙවැනි ආයතන අත්‍යවශ්‍ය බව ද ඔහු පෙන්වා දුන්නේය. මෙහිදී 50 වැනි සංවත්සර විශේෂ සමරු ග්‍රන්ථය සහ CSSL නිල ජංගම යෙදවුම (App) එළිදැක්වුණු අතර, ක්ෂේත්‍රයට සේවය කළ ආරම්භක සාමාජිකයින් සහ හිටපු සභාපතිවරුන් ඇගයීමට ලක් කෙරිණි.
















