දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස විනාශයට පත්වූ මොරගහකන්ද වැල්ලෙවල මාර්ගයේ අංක 1/1 පාලම යළි ඉදිකිරීමේ කටයුතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ඉන්දියානු රජයේ මූල්‍ය දායකත්වයෙන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කරන ලදී. ස්වාභාවික ආපදා හමුවේ කඩා වැදුණු ප්‍රධාන යටිතල පහසුකම් කඩිනමින් නගාසිටුවීම සහ දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වී තිබේ.
මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ රට තුළ වර්තමානයේ විවිධ අභියෝග පැවතියද කිසිදු අර්බුදකාරී තත්ත්වයක් නොමැති බවත්, රජය ක්‍රියාත්මක කරන විධිමත් සංවර්ධන ක්‍රියාවලීන් හරහා එම අභියෝග සාර්ථකව ජය ගන්නා බවත්ය. කාලීන අවශ්‍යතාවක්ව තිබූ මෙම මාර්ග සම්බන්ධතාවය සහ ප්‍රවාහන පහසුකම් කඩිනමින් ජනතා අයිතියට පත් කිරීමට නියමිත අතර, එය කලාපීය සහයෝගීතාවේ සහ අර්බුද ජයගැනීමේ ප්‍රායෝගික සාක්ෂියක් ලෙසද ඉස්මතු වේ.
මෙමඟින් කඩිනම් ප්‍රවාහන පහසුකම් යථා තත්ත්වයට පත්වීමත් සමඟම, ආපදාවෙන් අඩාල වූ ප්‍රදේශවල ආර්ථික හා සමාජීය ක්‍රියාකාරීත්වය යළි සක්‍රීය වනු ඇත. රජයේ විධිමත් ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග සහ මිත්‍ර රටවල දායකත්වය හරහා මෙරට යටිතල පහසුකම් ජාලය තිරසාර සංවර්ධන ඉලක්ක කරා මෙහෙයවීමට අපේක්ෂිතය.














