27 April 2024
#සංවර්ධන

ජම්බෝ පරදවන්න ශ්‍රී ලංකා ජම්බෝ සුදානම්

විදේශයෙන් ආනයනය කරන “ජම්බෝ” රටකජු පරදවන්න “ශ්‍රී ලංකා ජම්බෝ” සුදානම් ​බව කෘෂි කර්ම අමාත්‍යංශය පවසයි. මේ වනවිට අප රටේ රටකජු බෝගය වගා කරන නමුත් එම ප්‍රමාණය ජාතික අවශ්‍යතාවයට නොසෑහෙන බැවින් වාර්ෂිකව විදේශ රටවලින් රටකජු විශාල ප්‍රමාණයක් මෙරටට ආනයනය කරයි.

පසුගිය වසරේ මෙරට හෙක්ටෙයාර් 19,975ක රටකජු වගා කර තිබෙන අතර ඉන් නෙලා ගන්නා ලද අස්වැන්න ප්‍ර මාණය මෙ. ටො. 24,200කි. නමුත් තවත් මෙට්‍රික් ටොන් 3094ක් විදේශයෙන් ආනයනය කර තිබෙන අතර පසුගිය වසරේ ඒ සඳහා වැය කර ඇති මුදල රු. මි. 689කි.

මේ අතරින් වැඩිම රටකජු ප්‍රමාණයක් මෙරටට ආනයනය කර ඇත්තේ විශාල ප්‍රමාණයේ ජම්බෝ රටකජු විශේෂයයි.

මෙම රටකජුවලට විකල්පයක් වශයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා ජම්බෝ නමින් නව රටකජු ප්‍රභේදයක් හඳුන්වා දී තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාහට මෙම නව රටකජු ප්‍රභේදය හඳුන්වා දීම අගුනකොළපැළැස්ස මාශ හා තෙල් භෝග පර්යේෂණ ගොවිපොළේ දී පසුගිය සතියේ සිදු කෙරිණි.

ශ්‍රී ලංකා ජම්බෝ නව රටකජු ප්‍රභේදයේ විශේෂත්වය වන්නේ එම වර්ගය සැපීමට ඉතා පහසුවන අතර මිහිරි රසයකින් යුක්ත වීමයි.එමෙන්ම වගා කර දින 110-115ක් අතර කාලයේ දී අස්වනු නෙලාගත හැකිවේ. එසේම විශාල බීජ සහිතවීමත්, හෙක්ටෙයාර් එකකට කිලෝ ග්‍රෑම් 4400 ඉක්මවු අස්වැන්නක් නෙලා ගැනීමටත් හැකිවේ. මෙම වර්ගය රටතුළ ව්‍යාප්ත කිරීම මගින් දැනට රටකජු ජාතික අවශ්‍යතාවය වන මෙ. ටොන් 27,294ක ප්‍රමාණය පහසුවෙන් අප රටේම වගා කිරීමට හැකි වේ. එමනිසා වාර්ෂිකව විදේශයට ඇදී යන රු.මි. 700කට ආසන්න මුදලක් අප රටේම ඉතිරිකර ගැනීමට හැකියාව ලැබේ.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ පුත්තලම, අනුරාධපුර, පොලොන්නරුව,මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්ක ඉළක්ක කර ගනිමින් රටකජු වගා කිරීමේ කෘෂිකාර්මික කලාපනයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවයි. එම කලාපය තුළ විශේෂයෙන් මෙම රටකජු වර්ගය මෙන්ම සෙසු ප්‍ර භේද ද වගා කිරීමට කටයුතු යොදන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *