2023 ජනවාරි සිට 2026 මාර්තු දක්වා කාලය තුළ විද්‍යුත් බැංකු මුදල් හුවමාරු (Telegraphic Transfer – TT) ක්‍රමය අවභාවිත කරමින් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 750කට ආසන්න මුදලක් භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් රටින් පිටතට යවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම කාරක සභා රැස්වීමේදී, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති නව රෙගුලාසි සලකා බැලී ඇත. ආනයන නොකර පෙර ගෙවීම් මගින් විදේශ විනිමය රටින් පිටතට ගලායාම වැළැක්වීම සඳහා නව රෙගුලාසි යටතේ ආනයනකරුවන් ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි වීම සහ සෑම ගනුදෙනුවක් සඳහාම Unique Identification Number (UIN) ලබා ගැනීම අනිවාර්ය කර ඇති අතර, ඊට අමතරව ලෝහ ආශ්‍රිත භාණ්ඩ අපනයන පාලන රෙගුලාසිද මෙහිදී අනුමත කර ඇත.














