අපේ රට වටා ඇති සුන්දර සාගරය බොහෝ දෙනෙකුට විනෝදාස්වාදය ගෙනදුන්නද, මෑතකාලීනව දියේ ගිලීම් හේතුවෙන් අහිමි වන වටිනා ජීවිත සංඛ්‍යාව ඉහළ යාම ජාතික මට්ටමේ දැඩි අවධානයක් යොමු විය යුතු ගැටලුවක් බවට පත්ව තිබේ. ජාතික මට්ටමේ විධිමත් සැලැස්මක පවතින අඩුව හේතුවෙන් වෙරළාශ්‍රිතව සිදුවන අනතුරු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට අපේ වෙරළ තීරය නතු වීමේ අවදානම හමුවේ, මෙතෙක් පැවති ලිහිල් ආරක්ෂක ක්‍රමවේදයන් තවදුරටත් ප්‍රමාණවත් නොවන බව ආරක්ෂක අමාත්‍යංශයේ නිරීක්ෂණයට ලක්ව ඇත. මෙම තත්ත්වය සමනය කිරීමේ අරමුණින්, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා පසුගිය 30 වනදා මිරිස්ස පිහිටි ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකා මූලස්ථානයේ සහ බලපිටිය ජීවිතාරක්ෂක පුහුණු පාසලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙහිදී වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අමාත්‍යවරයා පැවැත්වූ සාකච්ඡාවේදී, සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නවීන තාක්ෂණය භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි. විශේෂයෙන්ම ඩ්‍රෝන තාක්ෂණය හරහා වෙරළ තීරය නිරීක්ෂණය කිරීම, ධීවර වරායන්හි ආරක්ෂක ගැටලු විසඳීම සහ මගී යාත්‍රා මෙහෙයුම් දැඩි ලෙස නියාමනය කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. මත්ද්‍රව්‍ය වැටලීම් සහ තෙල් කාන්දු පාලනය වැනි අභියෝගාත්මක මෙහෙයුම්වලදී වෙරළාරක්ෂක බලකාය දක්වන දායකත්වය අගය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඉදිරි මෙහෙයුම් කටයුතු තවදුරටත් කාර්යක්ෂම කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීම ද මෙහිදී සිදු විය.
මෙම සංචාරයේ ප්‍රධානතම අරමුණ වූයේ රේඛීය අමාත්‍යාංශ ඒකාබද්ධ කරමින් දියේ ගිලීම් වැළැක්වීම සඳහා වන ප්‍රජා මූලික ජාතික ජීවිතාරක්ෂක සැලැස්මක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමයි. බලපිටිය ජීවිතාරක්ෂක පුහුණු පාසලේදී වෙරළාරක්ෂක භටයින්ගේ සේවය ඇගයීමට ලක් කළ අමාත්‍යවරයා, සාගරය සුරැකීම යනු රටේ අනාගතය සුරැකීම බව පෙන්වා දුන්නේය. සාගර සම්පත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මුදාගෙන, පොදු ජනතාවට බියකින් තොරව භාවිත කළ හැකි සුරක්ෂිත කලාපයක් බවට පත් කිරීම මෙම සමස්ත ක්‍රියාවලියේ අවසන් අරමුණ වන අතර, එය හුදෙක් රාජකාරියකට එහා ගිය ජාතික මෙහෙවරක් බව අමාත්‍යවරයා අවධාරණය කළේය.














