ජපානයේ ටෝකියෝ නුවරදී පැවති දූපත් රාජ්‍යයන්ගේ සාගර සමුළුව (Island States Ocean Summit – ISOS) සඳහා සහභාගී වෙමින්, සාගර සංරක්ෂණය ආශ්‍රිත ගෝලීය අභියෝග ජය ගැනීම සඳහා ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවයක අවශ්‍යතාවය ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අවධාරණය කළේය.
ජූනි 2 සිට 4 දක්වා පැවති මෙම සමුළුව සඳහා රටවල් 35ක රාජ්‍ය නායකයින්, ධීවර අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව සිටි අතර, ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා, නෝර්වේහි කිරුළ හිමි හාකොන් කුමරු සහ ජපාන අග්‍රාමාත්‍ය සනායේ ටකයිචි මහත්මිය ද ඒ අතර වූහ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ දේශගුණික විපර්යාස, සාගර දූෂණය, අධික ලෙස මසුන් මැරීම සහ සාගර ජෛව විවිධත්වය අඩුවීම වැනි සංකීර්ණ ගැටලු ඕනෑම රටකට තනිව විසඳාගත නොහැකි බවයි. ඉන්දියන් සාගරයේ පිහිටි දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ආහාර සුරක්ෂිතතාව සාගර පරිසරයේ නිරෝගීභාවය මත රඳා පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය.
සමුළුවේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දූපත් රාජ්‍යයන් මුහුණ දෙන අභියෝග ජය ගැනීමට හුදු පොරොන්දු වෙනුවට ප්‍රායෝගික හවුල්කාරිත්වයන් අත්‍යවශ්‍ය බවයි. සංවර්ධිත රටවල් විසින් සංවර්ධනය වෙමින් පවතින දූපත් රාජ්‍යයන්ට උසස් ධීවර තාක්ෂණය, චන්ද්‍රිකා නිරීක්ෂණ පද්ධති සහ දත්ත හුවමාරු ජාල වෙත ප්‍රවේශය ලබා දිය යුතු බව ද ඔහු අවධාරණය කළේය. ශ්‍රී ලංකාව මේ වන විටත් නිල් ආර්ථික රාමුවක් (Blue Economy framework) සහ විද්‍යාත්මක ධීවර කළමනාකරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් පවතින බවත්, කුඩා පරිමාණ ධීවරයින්, වෙරළබඩ තරුණයින් සහ කාන්තාවන් සාගර පාලනය සහ සංරක්ෂණය සඳහා ප්‍රධාන පාර්ශවකරුවන් ලෙස සවිබල ගැන්වීම වැදගත් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම සංචාරය හරහා සාගර සම්පත් අංශයේදී ජපානය සහ අනෙකුත් සහභාගී වූ දූපත් රාජ්‍යයන් සමඟ නව තාක්ෂණික සහ මූල්‍ය සහයෝගීතා අවස්ථාවන් උදා කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබේ. අමාත්‍යවරයා සමඟ මෙම සංචාරය සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කොලිත කමල් ජිනදාස මහතා ද එක් විය.
















