පසුගිය වසර 06ක කාලය තුළ බන්ධනාගාරවලින් නීතිවිරෝධී ලෙස පැනගිය සිරකරුවන් 709 දෙනෙකු තවදුරටත් අත්අඩංගුවට ගෙන නොමැති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළිදරව් වීමත් සමඟ ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතල ප්‍රශ්නාර්ථයක් මතුව තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් මෙම විගණන වාර්තාව මගින් එම කාල සීමාව තුළ පැනගිය මුළු රැඳවියන් සංඛ්‍යාව 1,181ක් ලෙස පෙන්වා දී ඇති අතර, බන්ධනාගාර තුළින් ජංගම දුරකතන සහ අනෙකුත් නීතිවිරෝධී උපාංග දහස් ගණනක් අත්අඩංගුවට පත්වීම හරහා සංවිධානාත්මක අපරාධ හා පාතාල ක්‍රියාකාරකම් බන්ධනාගාරගතව සිටිනුදු පාලනය වීමේ අවදානම තීව්‍ර කර ඇත.
මෙම තත්ත්වය හමුවේ බන්ධනාගාරවල පවතින අධික තදබදයට පිළියම් යෙදීම මෙන්ම රැඳවියන් කළමනාකරණය හා ආරක්ෂාව දැඩි කිරීම සඳහා මහර සහ වටරැක වැනි විකල්ප බන්ධනාගාර පහසුකම් පුළුල් කරමින් විධිමත් ආයතනික යාන්ත්‍රණයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම පිණිස අත්‍යවශ්‍යව පවතී.














